Monday, November 24, 2014

ආරාධනා....!!!



තම කුලුඳුල් චිත්‍රපටිය වන දුහුල් මලක් චිත්‍රපටිය හරහා සිනමාවට පිවිසි විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක විජය ධර්මශ්‍රි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශ ගේය පද රචනාවෙන්ද, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය වියෝවේ කටුක බවත් එයින් මිනිසුන් පත්වන අසරණ ස්වභාවයත් හදවතට දැනෙන අයුරින් ඉදිරිපත් කරන ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

ගීතයට ප්‍රවේශයක් වශයෙන් පළමුව ආරාධනා චිත්‍රපටිය පිලිබඳ සාරාංශයක් සැපයීම වැදගත් යයි සිතමි.

ප්‍රේමය විවාහය, වෙන්වීම, නැවත එක්වීම සහ ඒ හා සම්බන්ද ජීවිත අවස්ථා, අත්දැකීම් පසුබිම් කරගත් චිත්‍රපටියක් ලෙසින් ආරාධනා චිත්‍රපටිය හැඳින්විය හැකිය.  

සේනක නම් තරුණ ඉංජිනේරුවරයකු සහ ජීනා නම් හෙදියක වටා මෙම ප්‍රේම වෘතාන්තය ගෙතී ඇත. 

සේනක සහ ජීනා පෙම්වතුන් ලෙසින් සිටින කල්හී ජීනාට සෙනකට දාව දරුවකු පිලිසිඳ ගනී. මෙයින් තැතිගත් ජීනා කලලය විනාශ කිරීමට යම් බෙහෙත් වර්ගයක් පාවිච්චි කරයි. නමුත් පසුව ඇය මේ පිලිබඳව සේනකට පැවසීමෙන් අනතුරුව සේනක ඇයව විවාහ කර ගනී.  

දෙදෙනා සතුටින් තම විවාහ ජීවිතය ගෙනයන අතර ජීනා ඔවුන්ගේ දරුවා බිහිකරයි. නමුත් අවසනාවකට ජීනා පෙරදී ගත් බෙහෙත් නිසා ඔවුන්ගේ දරුවා මියයයි. තමන්ගේ දරුවාගේ මරණයට ජීනා වගකිවයුතු බව සිතන සේනක ඇය නිවසින් පන්නා දමයි.  

පසුව රට හැර යාමට සියල්ල සකසා සිටින සේනකට ජීනා පිලිබඳ මතකයන් සිහිපත්වේ. ඔහුට නැවතත් ඇය දැක ගනීමේ ආශාවක් උපදී. එසේ ඔහු ඇය බැලීමට යන අතරමඟ අතීතාවර්ජනයක් ලෙසින් මෙම ගීතය ඉදිරිපත් කෙරේ.     

ආරාධනා... ආරාධනා...
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...   

ගීතය ආරම්භයේ සිට අවසානය තෙක් ඔහු විසින් ඇය වෙනුවෙන් කරනු ලබන ආරාධනයක් ලෙසින් රචිත මෙම ගීතය, සේනක විසින් කරන වාචික ආරාධනයක් නොව ඔහුගේ අතීත මතකයන් තුලින් ඉස්මතුවන මානසික ආයාචනයක් ලෙස පැවසීම වඩාත් යෝග්‍ය යැයි මම සිතමි. 

මංසල යනු මංසන්ධිය යන තේරුම ගෙනදේ. දෙමංසල, තුන්මංසල, සිව්මංසල ආදී වශයෙනි. තනි මංසලක් යනු කල්පිතයකි. තනි මංසලක අතරමන් විය නොහැක. මක්නිසාද යත් යායුතු ඉදිරියට හෝ අපසු හැරී පමණක් වීමයි. "ජිවිතයේ තනි මංසල අතර මං වෙලා" යනුවෙන් ඔහු පවසන්නේ හුදෙක් ඔහු ඇය හා ආ ගමන් මඟ දැන් ඔහු තනිවම යායුතුය. මාවතේ තවත් ඉදිරියට යනවාද නැතිනම් ආපසු හැරෙනවාද යන්න පිලිබඳ ඔහු අතරමන්ව සිටී. ජීවිතයේ මාවත සොයා දීමට ඔහු ඇයට අරධනා කරයි. 

අතරමන්ව, කායිකව මෙන්ම මානසිකව ද හුදකලාව වෙසෙන ඔහුට අතීතය සිහිපත් වේ. සිහිකර සතුටුවිය හැකි අතීතයක් ඔවුන් සතුව පැවතී ඇත. ඒ සතුට ඔහුගේ ජීවිතයෙන් ගිලිහී ගියේ ඔහුගේම වරදින් බව ඔහු ගේ සිත දනී. ඔහු විඳින, ඔහු විඳවන හුදකලාව හමාර කර යලිත් පෙර තිබූ සතුටත් රැගෙන ඔහුගේ දිවියට මුසුවන ලෙස ඔහු ඇයට ආරාධනා කරයි. 

නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා... ආරාධනා... 

ඔහු සතු ඇය කෙරෙහි වූ ප්‍රේමය ආරක්ෂා කිරීමට තැනවූ   හදවත නැමති පවුරේ ඔහු විසින් කලාත්මකව නිමැවූ යහපත් ප්‍රේමනීය සිතුවිලි අවසානයේ කාලය නැමති වෙරලේ වැලිමත ලියූ වදන් සේ මැකී ගියේ දැයි එසේනම් ඒ ඔහු නිසා නොවේදැයි ඔහු තමන්ගෙන් ම විමසයි. 

දැන් ජීවිතයේ අසරණව හුදකලාව, කාත් කවුරුවත් නැති සේනක ප්‍රාර්ථනා කරනුයේ එකම එක දෙයකි. ඒ නැවතත් ඔහුට අහිමිවූ ඇයගේ සෙනෙහසයි. අහිමි වූ සෙනෙහස යලිදු ලබා දෙන ලෙස ඔහු ඇයට අරාධනා කරයි.

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා
ආරාධනා... ආරාධනා...

විවාහ දිවිය ඔහුට ආරන්‍යයකි. එතරම් නිවීමක් සැනසුමක් ඔහුට එහි විය. ඔහුගේ ලෙයින් මසින් සැදුනු ඔවුන්ගේ බිලිඳා උපන්දින එය හුදෙක් ඔහු නැවත ඉපදීමක් ලෙස ඔහුට දැනේ. මුලු නිවසම කිරි සුවඳින් පිරී ඇත. ඇය ලඟද ඔහුට දැනෙන්නේ මේ කිරි සුවඳයි. බිලිඳාගේ වියෝවත් සමඟ ඔව්න් ගේ රජදහන බිඳ වැටී ඇත. ඔහුට අලුත් ජීවිතයක් ඇරඹිය යුතුව තිබේ. නමුත් ඒ අඳුරින් පිරි දිවියට ආලෝකය විය හැකි ඇයට පමණක් බව ඔහු වටහා ගෙන ඇත. ඇයගේ දෙනෙත් කාන්තියෙන් ඔහුගේ අඳුරුවූ ලෝකය ඒකාලෝක කරන්නට ඔහු ඇයට ආරධනා කරයි. 

අවසාන වශයෙන් මට සුනිල් එදිරිසිංහයන්ගේ ගීයක් මතකයට නැගේ, "වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්....". සේනක මෙන්ම ජීවිතයේ සොඳුරු අතීතයන් අතහැර අඳුරු වර්තමානයේ ජීවත්වන කිසිවකුට තවමත් ප්‍රමාද නැත. 

   



0 comments:

Post a Comment