Sunday, August 30, 2015

අන්න බලන් සඳ රන් තැටියෙන්..

මෙම අරුත් පුන් ගීතය බෙන් සිරිමාන්න විසින් ‘කුණ්ඩලකේශී’ නාට්‍යයට ගැයූ ගීතයකි. මෙම ගීතය මෙන්ම නාට්‍ය ද මහගම සේකරයන් ගේය. මෙයට වස්ථු විෂය වන්නේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රතනාවලියේ එන කුණ්ඩලකේශී කතා පුවතයි. කතාව සැකෙවින් මෙසේය.

භද්දා නම් සිටු දුවක්‌ මරණයට ගෙන යන සොරකු කෙරේ පෙම් බැඳ මවුපියන්ට ආයාචනා කොට මසුරන් දහසක් දී ඔහු මුදා ගෙන සිය ස්වාමියා බවට පත්කොට ගත්තාය. එහෙත් ටික දිනකින් ඔහුට ඇය එපාවී ඇය මරා ආභරණ සොරාගෙන යැමට සිතා "සොඳුර, මා මරන්ට ගෙන යන ගමනේ දෙවියන්ට භාරයක්‌ වූවා. මා නුඹට ලැබුණේ ඒ නිසාය. දැන් අපි ඒ භාරය නිදහස්‌ කළ යුතු යෑයි" පවසා ඇයත් සමග ඇයව පහලට දමන්නට කන්දක් වෙත ඇය රැගෙන යන කතා පුවතකි.

පසුව ඇය සොරාගෙන් මිදී නැවත ගිහි ජීවිතයක් ගැන නොසිතා අලුත් ජීවිතයක් ආරම්භ කරමියි සිතා පළමුව  නිගණ්ඨ ශ්‍රාවිකාවක් ලෙස කල් ගත කළාය. ඇගේ හිසෙහි කෙස් කැපූ තැනින් තැන කෙස් යළිත් පැණ නැගුණූ අතර ඒවා කරකැවී  (curls) ලෙස සැකසිනි. කුණ්ඩල යනු curls යන්නයි. ඒ නිසාම භද්දා පසු කලෙක කුණ්ඩලකේශි නමින් ප්‍රසිද්ධ විය.

මෙමෙ නාට්‍යයේ සොරා විසින් භද්දා රවටා රැගෙන යන අවස්ථාවේ ඔවුන් වනයක් හරහා යන විට ඉහත ගීතය ගායනා කරයි. මෙය රූපක ඉතා උසස් ආකාරයෙන් යොදා ගන්නා ලද ගීතයක් බවද කිව යුතුමය.

අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු
සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස්‌ කියනා
හඬ දේවිනි කන් පිනනා

මෙහිදී මහගම සේකරයක් සඳ උපමා කරන්නේ රන් තැටියකටය. සඳේ සඳ කැන් උපමා කරන්නේ සුදු සීතල ගඟුලකටය. මේ වචන සහ යෙදීම් කෙතරම් සුන්දරද. මේ දර්ශනය දකින කාගේ නම් සෝක ලතැවුල් පහව නොයයි ද?

එතැනින් නොනවතින ඔහු තව තවත් පරිසරයේ සුන්දරත්වය මෙසේ විස්තර කරයි. ඔහු සතු භාෂා දැනුම මෙම වචන වලින් මොනවට පැහැදිලි වේ.

චන්දන යනු සඳුන් ය. වනය පුරා සඳුන් සිහිලස සහ සුවඳ හමයි. පල්ලව යනු ලා දළු පත් ය. වනයම නැවුම් ලපටි දළු ලා අලංකාරව දිස්වේ. එපමනක් නොව කොවුලන් ගේ ඇතුලු කූචනය නැතිනම් පක්ෂී නාදයන් දස දෙස ඇසේ. මේ සියල්ල ඔහු දකින්නේ සුන්දර වූ මේ වනාන්තර ගොමුව (ගුල්ම ) නම් වූ යහන් ගබඩාව නැත්නම් නිදන කාමරය ආදර කතා කියන්නාක් මෙනි. මෙහි පලමු පද පෙල ගයන්නේ සොරා විසිනි.

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

මෙම ගීතයේ එන සුන්දරම රූපක යොදා ගැනීම නම් 'අත් පසුරෙන් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ සිතිනි ලිය වැල් පැටලී ගොසිනී' යන පද පෙලයි.

අත් පසුර යනු අතේ ඇඟිලි පහ විහිදා දැක්වීම යන්නයි. මෙම වචනය ගුත්තිල කාව්‍යයේ ද අපට හමුවේ.

සැරයට ළං නොවන
ලිනිණියකු අත් පසුරෙන
ගනිමි යි තැත් කරන
එකකු මෙන් ගායනා කරමින

ඉහත ගීතයේ සේකරයන් අදහස් කරන්නේ මෙවැන්නකි.

තම අතේ ඇඟිලි වලින් තමන්ගේ පෙම්බරයන් වන වෘක්ෂ (තුරු) යන් ගේ ඉන (බඳ ) වට අත යවා (බන්දා) ස්නේහයෙන් සිටින ලලනාවන් නැමති වැල් පැටලී සිටින්නා සේය. 

මෙම පද පෙල ලිවීමට සේකරයන් විසින් මහාචාර්‍ය සරත්චන්ද්‍රයන් ගේ 'මනමේ' නාට්‍යයේ ආභාෂය ලබා ඇතැයි පහත පද පෙල අනුව සිතිය හැක.

ආලයෙන් වෙලි සැදි මෙලතා..
මණ්ඩපයෙන් චණ්ඩාතප...

මෙම කවියන් දෙදෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව මහා කවි කාලිදාසයන් ගේ පහත දැක්වෙන කවියෙහි ඇසුරක් ලැබූ බව රත්න ශ්‍රී යන් ඔහුගේ කෘතියක සඳහන් කරයි. 

තාම්බුල වල්ලී පරිනන්ද පූගා
ශ්වේලා ලතා ලිංගිත චන්දනාසු
තමාල පත්‍ර ස්ථරනාසු රන්තුර
ප්‍රසීද ශස්වත් මලයස්ථ ලීසූ

එහි අර්ථය මීට සමාන වූවක් බව රත්න ශ්‍රී පවසයි.

බුලත් වැල් පුවඟු තුරු වැලඳගත්
සඳුන් තුරු ඒ ලා වැලින්
ආලිංගනය කළ
තමලු පත් ඇතිරිල්ලෙහි
සයනයට රිසිවෙතොත්
පැහැදෙන්න මලය දෙස වසන්නට

මල් සුවඳ මුසුවූ මද නල හමන, සිත අමන්දානන්දයට පත් කරන මෙවැනි තැනක තවත් ඔබ බලා සිටින්නේ මන්දැයි අසමින් ඇය ඔහුට ආරාධනාවක් කරයි.

මෙවැනි ගීත රස විඳීමට අප වාසනාවන්ත වීම ම වටී. 

පද රචනය : මහගම සේකර

ගායනය : බෙන් සිරිමාන්න

















0 comments:

Post a Comment