Thursday, January 8, 2015

කුමරියක පා සළඔ සැලුනා...



කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන් විසින් රචිත, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සංගීතයට, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මෙම ගීතය සංවේදී මෙන්ම සංකීර්ණ වූත් ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

මෙම ගීතය විවිධ අයුරින් තෙරුම් ගැනීමටත්, එමෙන්ම එය තමන් සතු ජීවිත අද්දැකීම් හරහා ස්වකීය කොට ගැනීමටත් පාඨකයාට අයිතියක් ඇත.

මෙහිදී මා උත්සහ කරනුයේ මෙහි යෙදී ඇති සිංහල භාෂාවේ වචන සහ යෙදීම් උපයෝගී කොට ගනිමින් මෙම ගීතයේ අර්ථය විමිසීමක් කිරීමට පමණි.

සරලවම මෙයින් කියැවෙන්නේ කාන්තාවක සතු රූප ස්වහාවය සහ එය විඳින පුරුෂයකු (ඇසින් හෝ මනැසින්) විසින් තමන් ගේ විඳීම ඉදිරිපත් කරන ආකාරයයි.

මෙහිදී කාන්තාව මෙම කතා නායකයගේ අනියම් ඇසුරක් පවතින කාන්තාවක හෝ ගණිකාවක වන්නටත්, එසේත් නැතිනම් මධුසමයේ ප්‍රථම රාත්‍රියේදී මෙම පුරුෂයා මුහුන දෙන අද්දැකීමක් වීමට හෝ ඉතා සරලව ස්වකීය බිරිඳ සමග සහ සංවාසයේ යෙදීමට පෙර ඔහු ගේ සිතේ මතුවන අදහසක් වුවද විය හැක. නැතොත් ලෞකික සැපයෙන් ලෝකෝත්තර සැපය කරා සිත මෙහෙයවන පුරුෂයකුගේ සිත තුල ඇතිවන ස්ත්‍රී නිමිත්තක් පමනක් ද විය හැක.

අවස්ථාව ගලපා ගැනීම ඔබට පවරා ගීතය විග්‍රහ කිරීම අගනේයැයි සිතමි.

කුමරියක පා සළඔ සැලුනා...
වසා සිටි නෙතු පියන් ඇරුනා...
කුමර බඔසර අසපුවේ මා...
සම වැදී උන් දැහැන් බිඳුනා..

කාන්තාවකගේ පියවර හඩින් ඔහු නෙතු හැර බලයි. ඔහුට ඇය කුමරියක තරම් සුන්දරය. ඇයගේ පියවර නගන හඬ පාද ගිගිරි හඬ තරම් කන් කලුය, මිහිරිය. මෙය හුදෙක් කාන්තාවක් පිලිබඳ පුරුෂයකු සිතන බව ඇඟවීමට යෙදූ ඉඟියක් පමණක්ම විය හැක.

කුමර බඔසර යනු, කාන්තාවක සමග ශාරීරික සහ සම්බන්දයක් නොපැවැත්වූ පුරුෂයකු යන්න‍යි. ඔහුගේ කුමර බඔසර පවා බිඳිමට සමත් රූ සපුවකි ඇයට ඇත්තේ.

උකුල ළැම හස මලවි කරලිය...
මුවා කල ඇගෙ දුහුල් සළු තිර...
විවර කෙරුවා මනස් සලෙළුන්..
උමතු වු දෙනුවන් රැහැන් ඇද..
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවු සුයාමය..

මෙහි "හස" යනු හංසයා යන්නයි. ඇයගේ පුලුලුකුල, හංසයින් යුවලක් හා සමවූ ලැම, අනංගයාගේ (මලවි) රඟමඬලයි (කරලිය).
ඔහුගේ සල්ලාල වූ සිත (මනස් සලෙළුන්), ඔහුටම අකීකරු වෙමින් ඇයගේ දුහුල් සලු සිතින් උනා දමයි. ඒ කෙසේද යත්, ඇයගේ රූසපුව දැකීමට සිහි විකල් වූ පරිද්දෙන් සිටින දෙ ඇස් දෙපසට ලනුවකින් අදින ලද පරිද්දෙනි.

මෙය නම් ඔහුට තව්තිසා දෙව් ලොවමැයි. 

සුර යනු දෙවියා යන්නයි. සුරාවට අධිපති දෙවියාට ද සුර යනුවෙන් භාවිතා කරයි. මෙහිදී ධර්මවර්ධනයන්ගේ යෙදීම හුදෙක් දෙවියන් යන අරුත පිනිස විය හැක. 

මෙය ඔහුට දෙවි වරුන් නැලවූ සුයාමයයි. සුයාමය යනු තවත් එක් දෙව් ලොවකි.

නිසල ජීවන තපෝ වන මැද..
හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද..
තලා සිත කම්පනය කරවයි..
ලපළු  තුරුවැල් කැකුලු මල් පෙති..
මා හඩවයි බිඳුනු තුසිතය..
සුරන් නැලවු සුයාමය..

ඔහුගේ ජීවිතය තාපසවරුන් වැඩ සිටින වනයක් සේම නිසංසලය.මෙය ඔහුගේ ශාරීරික දිවිය හෝ මානසික දිවිය වන්නට පුලුවන.  

එබඳු නිසල ජීවිත‍ය ඇයගේ පැමිණීම (මානසිකව හෝ ශාරීරිකව ) නිසා ඔහුගේ කෙලෙස් හැඟීම් යකඩ දම්වැල් කඩා දමමින් ඉහත දැක්වූ වනයට පිවිසි ඇත් සේනාවක් මෙන් නිසංසල බව අවුල් කොට ඇත.   

මේ කෙලෙස් සහිත සිතුවිලි ඔහුගේ නිසංසල දිවිය (මානසික හෝ ශාරීරික ) කම්පනයට පත් කරවයි. කෙසේද යත්, ඉහත වනයට වැදි ඇතුන් නොමේරූ ගෙඩිවල කොටස්  (ල = ලපටි/නොමේරූ, පළු = ගෙඩිවල දෙකෙන් පංගුව ), ගස් සහ වැල්, සියුමැලි මල් පෙති තලා දමන විටක මෙනි.  

මේ නම් ඔහු පතන තුසිතය නොවේ. මෙය නම් ඔහු පතන සුයාමය නොවේ. ඔහුගේ නිසල ජීවිත‍ය (මානසික හෝ ශාරීරික ) අවුල් වූ තැන ඔහු වැලපෙයි.

මා විශ්වාස කරන අන්දමට මෙය හුදෙක් පුරුෂයකුගේ සිතෙහි ස්ත්‍රියක කෙරෙහි ඇතිවන ලෞකික, ලිංගික, කෙලෙස් සහිත වූ සිතිවිලි සහ එබඳු සිතුවිලි සන්සුන් වූ දිවිය අවුල් කරන ආකාරයත් ඉදිරිපත් කිරීමකි. මෙහි ශාරීරික එක්වීමක් පිලිබඳ නොදක්වයි. හුදෙක් මානසික සිතුවිලි පමනක් දක්වයි යන්න මාගේ මතයයි.  

අකාලයේ අප අතරින් වියෝවූ කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන්ට නිවන් සුව පතමු.

 







0 comments:

Post a Comment