Sunday, September 6, 2015

කොබෙයියනේ අළු කොබෙයියනේ..




දීපිකා ප්‍රියදර්ශනී ගේ ලයාන්විත හඬින් ගැයෙන ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරන්නට යෙදුනු මෙම ගීතය කුමාර ලියනගේ විසින් පබැඳූවකි. රචකයා සතු ගැමි සංස්කෘතිය පිලිබඳ අවබෝදය සහ ඒවා තම නිර්මාණ කරනයේදී ඉතා සාර්ථක ලෙස භාවිතාවද මෙම ගී පද රචනයෙහි දකින්නට තිබේ. මෙහි කථා නායිකාව මවකි. මේ ඇයගේ විලාපයයි... 

හෝ හෝ හෝ
හෝ හෝ හෝ

ම් ම් ම්.. ම් ම්..

කොබෙයියනේ අළු කොබෙයියනේ..
තෝර පෙතේ අර වැට ළඟ නිදන්නේ..
මන්ද ම පුතු මගෙ දෝතට නොදෙන්නේ..
කොබෙයියනේ අළු කොබෙයියනේ..

මවක් තම දරුවා තමන්ට නොදෙන්නේ මන්දැයි අළු කොබෙයියන්ගෙන් ගෙන් අසයි. දරුවන් මියයාම, දරුවන් නොලැබීමට අළු කොබෙයියන් හේතුවන බව ගැමියන්ගේ විශ්වාසයක් පැවතුණි. මේවා ඉතා බොලඳ අදහස් ලෙස බැහැර කල හැකිය. සැබැවින්ම මේවායේ සත්‍යතාවක් ඇති නොපෙනුනත් මේවායේ සංස්කෘතික වටිනාකම නම් එමටය. අප ග්‍රහණය කරගත යුත්තේ මොලයෙන් නොව හදවතිනි. එවිට ඒවායේ සුන්දරත්වය අඩුවක් නැතිවම විඳින්නට කුමාරට මෙන්ම අපටත් හැකිවන බව නොකිවමනාය.  

දරුවො නැති වීම සහ අළු කොබෙයියන් අතර සම්බන්ධය ඇති වීමට මුල් වුනු අපේ පැරණි ජන කතාවක් තිබේ. ඒ සුන්දර කතාවේ සාරාංශය මෙසේයි.

"ඉස්සර කැලෑවක අලුකොබෙයි පවුලක්‌ හිටිය. කොබෙයි අම්මයි, දුවයි, පුතයි. මේ අය ගොඩක් සතුටින් ජීවත් වුනා. පස්සෙ කාලෙක කැලේට ලොකු නිහඟයක්‌ ආවා. ගහ කොල වියලුනා. දොල පාරවල් හිඳිල ගියා. කෑමට යමක් හොයා ගන්නවත් බැරි වෙන තරමට.ඉතින් කොබෙයි අම්ම ඈතට පියඹලා ගිහින් දරුවන්ට කෑමට මොනවාහරි හොයාගන්න තියනවද කියල බැලුව. මෙහෙම හොයන කොබෙයි අම්ම හොඳට මල් පිපිලා තිබුණ මී ගහක්‌ දැක්ක. මී මල් හරිම පැණි රසයි. ඉතින් මේ කොබෙයි අම්මා මී මල් ගොඩක්‌ අරන් ඇවිත් කොටසක්‌ පැටවුන්ට කෑමට දුන්නා. අනික්‌ කොටස ළඟම තියෙන ගල්තලාවට දැම්මා වේලෙන්න, පසු කාලෙක කෑමට ගන්න. මේ විදියට මේ අම්ම හැමදාම  මී මල් අරන් ඇවිත් කොටසක් පැටවුන්ට දීල කොටසක් ගල්තලාවට දානව වේලෙන්න.දවසක්‌ හවස ආපු කොබෙයි අම්ම දැක්‌කා ගල්තලාවට දාපු මී මල් වලින් ගොඩක් අඩුයි කියල. අම්ම හිතුවේ පැටව් දෙන්න කාලා කියල. කෑමට දීල තියෙද්දීත් එකතු කරපු මල් කෑව කියල උරණ වුණු අම්ම දරුවන්ට කොටල මරල දැම්ම. මේ අවාසනාවන්ත සිද්දිය දැකපු දෙවියො වැස්සක් වස්සෝනව. ආපහු මී මල් පෙඟිල තිබුනු ගානටම පිපිල ලොකු වෙනව.  කොබෙයි අම්ම දැනගන්නව තමන් දරුවන්ව මැරුවෙ නිකරුණේ කියල. එදා ඉඳල මේ කොබෙයි අම්ම කැලේ පුරාම තම මියගිය දරුවන් හොයනවා. ඒ මෙන්න මෙහෙම කෑ ගසමින් කියල තමයි ගැමියන් කියන්නේ..

"මී පුප් ලදිමි..
 දරු නොලදිමි..
රංකැටි පුතා කෝ කෝ..."

කොබෙයියන්ගෙ ශබ්දය ඉහත කවියට සමානය. මී පුප් යනු මී මල්ය. ඉහත සුන්දර ජන කතාව තවත් විචිත්‍රවත් කරමින් නැලවිළි ගීතයක් ද බිහිවී තිබේ.

කැලේ ගහක මල් දැකලා නෙලා ගලේ වැනුවා..
එමල් වේලි අඩු වෙනකොට දරුවන් ඇන මැරුවා..
සක් දෙවියො දිවැස් බලා වැස්සක් වැස්සෙව්වා..
එ මල් බෝවි වරෙන් පුතේ අම්මා අඬගැහුවා..

රචකයා තම පලමු පද පෙල වෙනුවෙන් පදනම් කරගන්නේ මෙම කතා පුවතයි. 

සමුද්‍ර වෙත්තසිංහයන් රචනා කල "මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්" යන ගීතයේ ද මෙම කතාවම සුන්දර ආකාරයෙන් යෙදීමක් මෙසේ දැකිය හැක. 

අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
ම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

මෙහිදී අපට එක් දෙයක් පැහැදිලිවේ. එනම් මෙම අම්මාට එක්කෝ දරු සම්පත් නැති මවකි නැතිනම් ඇයගේ දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇතිය යන්නයි.

බිනර කළුවරට ගම් දොර තියේ නිදි වරා
පැලේ මිණි පහන දැක්කයි යහන් මත තියා
සුළං දොර ඇරන් ඇවිදින් අඳුර දී ගියා
කොයිද පුතු කොයිද නාවේ ඇයිද පෙම්බරා

දෙවැනි පද පෙල සඳහා කුමාර පාදක කරගන්නේ පෙරටත් වඩා විශේෂිත වූ සබරගමුව පළාතේ පාරම්පරිකව පැවත එන ඇදහිලි, විශ්වාස සහ ඒහා බද්ධවූ ගැමි සමාජයේ පැතිකඩකි. මෙහි විශේෂත්වය නම් එදා  ගමේ සිදුවීම් මෙසේ නිර්මාණයක් හරහා සුන්දර ලෙස ඉදිරිපත් කිරීමයි.

බිනර කළුවරට ගම් දොර තියේ නිදි වරා

බිනර මාසය නැතිනම් සැප්තැම්බර් මාසය උඩරට සහ සබරගමු ගැමි ජනතාවට අනුව නම් සුවිසේශී මාසයකි. ඒ වෙනකක් නිසා නොව මෙය යක්ෂ මාස වල ආරම්භක මාසයයි.සබරගමු සහ උඩරට වෙසෙසින් උග්ගල් අලුත්නුවර (බලංගොඩ) ප්‍රදේශයේ ගැමි ජනතාව අවුරුද්දේ මාස බෙදූ ක්‍රමයක් විය. ඒ ජනවාරි සිට අප්‍රේල් දක්වා බුද්ධ මාස ලෙසද, මැයි සිට අගෝස්තු දක්වා දේව මාස ලෙසද සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා යක්ෂ මාස ලෙසද වශයෙනි. බිනර මාසයේ කළුවර පෝය දිනයේ ඇරඹී උඳුවප් මාසයේ කළුවර පෝය ගෙවී යන බව ඔවුන් විශ්වාස කරයි. මේ කාලය තුළ දී මිනිසුන් වැඩි වශයෙන්ම මිය යන බවටත් අපල උපද්‍රව නිසා විශේෂයෙන් "දෙයියන්නේ ලෙඩ" වැළඳීමෙන් දරුවන් පවා  අසනීප වන බවටත් තද බල විශ්වාසයක් මෙම ගැමියන් තුල පවතී.  ඔවුන් මේ කාලයේ දී අපල උපද්‍රව මගහරවා ගැනීමට ඉල්මහකාත්තිය වැනි යාති කර්ම ද සිදුකරයි.

ගමේ ගම් දොරවල් නිදි වරා සිටින කාලයකි මෙය. ඒ මේ කාලයේ ගමේ ගං ගෙවල් වල ඇතිවී තිබෙන කරදර භාදක නිසාවෙනි. 

පැලේ මිණි පහන දැක්කයි යහන් මත තියා
සුළං දොර ඇරන් ඇවිදින් අඳුර දී ගියා

ඇයගේ පැලේ මැණික් පහන නම් ඇගේ බිලිඳුන්ය. නමුත් තම බිලිඳුන් සිටින්නේ යහනක සතපවාය. ඒ බිලිඳා අසනීපව සිටින නිසා විය යුතුය. මෙහිදී යහන යනු හුදෙක් පොල් පැදුරක් හෝ පන් පැදුරකි. දෙවැනි පදයෙන් ගීතයේ උච්චතම අවස්ථාවට අපව ගෙනයයි. එනම් බිලිඳාගේ මරණයයි. මෙහිදී සුලඟ මාරයාටත් පහණ නිවී යාම මගින් මරණයත් ඒත්තු ගන්වයි. අඳුරු වන්නේ ඇයගේ පැල නොවේ. ඇයගේ මුලු මහත් ජීවිතයයි, ආත්මයයි. පහන නිවීම මගින් මරණය අර්ථ ගැනිවීමේ තවත් අවස්ථාවක් අපට සත්‍යජිත් රායි ගේ පාතර්පංචලී චිත්‍රපටියේ ද දැකගත හැකිය. 

යාය දෙගොඩ පාළුව ඇහැරිලා රෑ පුරා
තනා කුළුණු ගුණ සී පද පුතුට කියනවා
වහන් වී ගියත් නෙත පිට ඉන්න තැන කියා
එන්න පුතු මගේ දෝතට එන්න පින්සරා

අවසන් පද පෙලින් කියැවෙන්නේ පාලුවෙන් තනිකමෙන් තම පැටවුන් සොයන කොබෙයි අම්මා මෙන්ම ජීවිතයම පාලුවෙන් ගෙවන මේ අම්මා ගේ තනිකමේ විලාපයයි. දැන් යක්ෂ මාස ගෙවී හමාරය. ගමම බියෙන් සැක සංකාවෙන් තොරව නින්දේය. ඇහැරලා සිටින්නේ ඇයත් පාලුවත් පමණි.

නෙත් ඉදිරිපිටම සැඟවී ගිය තම පින්බර පුතනුවන් පැමිනෙන තුරු අපේ රටේ කී දාහක් මව්වරු බලාසිටිනවා ඇතිද...

පද රචනය : කුමාර ලියනගේ

සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය :  දීපිකා ප්‍රියදර්ශනී


4 comments:

  1. පද්ම කුමාරOctober 10, 2015 at 5:36 AM

    මීපුප් කියන්නෙ සිංහල බසින් පිලිකාවට කියා මා අසා තිබෙනවා. ගර්භාෂයේ පිලිකාවක් නිසා දරුවන් නොලත් කාන්තාවක දරුවන් නොලැබුන සෝකයෙන් කල වැලපුමක් තමා මේ...
    මේකට ඉතිහාස කතාවක් තිබෙනවා. මීට අවුරුදු 50 කට ඉස්සර පාසැල්වල සිංහල පොත් පෙල උනේ ඇල්. ඇස්. ඊ අමරරත්න ශූරීන්ගෙ "කුමාරොදය" පොත. කුමාරොදය 1 පොත ලියන අතරෙ අමරරත්න ශූරීන් ඔය මීපුප් ලදින් කියන ගීතය රචනා කලා. කුමාරොදය පොත මුද්‍රණය කරලා සෑහෙන කාලෙකට පස්සෙ තමා එතුමා දැනගත්තෙ වැරදීමකින් ඒ පොතේ ඔය ගීතය නුද්‍රනය වෙලා කියලා.
    අරිසෙන් අහුබුදු මහතා අමරරත්න මහතාගෙන් ඇහුවලු ඇයි අරවගේ සින්දුවක් හෝඩිපොතට දැම්මේ කියලා. අමරරත්න මහතා එතකොට තමා දන්නේ වෙච්ච අත් වැරදීම. ඒ සින්දුව ලියපු කොලේකුත් හෝඩි පොතට ඇමිනිලා මුද්‍රනයට ගිහිල්ලා.
    අරිසෙන් අහුබුදු මහතා අමරරත්න මහතාට උපායක් දුන්නා. මී පුප් කියන්නේ මී මල් කියලා අර්ථකතනය කරලා ජනකතාවක් හදන්න කියලා.
    ඒ වෙච්ච වැරැද්ද වහගන්න තමයිලු ඔය කොබෙයියගෙ කතාව ගොඩ නැගුවෙ.
    පසු මුද්‍රන වල මේ මීපුප් සින්දුව ඉවත්කරලා තිබුනා. වෙච්ච සිද්දිය සිංහල වියතුන් අතරේ පමණක් ප්‍රසිද්ධ රහසක් උනා.
    හෙල හවුලේ අය ඒ කාලෙ අමරරත්න මහතාට විහිලු කරනවාලු හෝඩියෙ ලමයින්ට ලිංගික අධ්‍යාපනේ දුන්නා කියලා.
    මටත් ඔය කතාව කාටවත් හේම කියන්ට එපා කියලා පසුකාලෙක කීවේ අපේ මාමා. එයත් ඔය හෙල හවුලේ සාමාජිකයෙක්.
    දැං ඒ අය කවුරුවත් නෑ. මමත් මේ වෙනකම්ම ඔය කතාව කාටවත් කීවේ නෑ.
    මේ ලඟදි මම ප්‍රවුර්තියක් දැක්කා. පිලිකා රෝහලේ නම "මී පුප් රෝහල" ලෙස නම් කරන්ට යනවලු. මේකතාව මතක් වෙලා මම ගෙනාව මමත් කියවපු "කුමාරොදය 1" පොත. ඇත්ත නේන්නම්.... අග පිටුවෙ තිබුන මී පුප් සින්දුව ඒ පොතේ නෑ.
    පරන අයගෙන් අහල බලන්ටකො ඔය පොතේ ඒ සින්දුව ඒ අයටත් මතක ඇති...

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුතියි. ඔබ කියන කතාව නම් මම අසා නැහැ. නමුත් 'පුප්' කියන්නෙ සිංහලෙන් පුෂ්ප, මල් කියන එකයි. මී පුප් කියන්නෙ මී මල්. අනිත් දෙය නම් ඔබ කියන ලෙස මෙය ඇල්. ඇස්. ඊ අමරරත්න විසින් ලියන ලද කවියක් ලෙසින් පිලි ගැනීමට ඇති නොහැකියාවයි. කුමාරෝදය ප්‍රථම මුද්‍රණය සිදුවන්නේ 1969දී. නමුත් "මී පුප් ලදිමි..." කවිය තමාගේ මී අත්තම්මා තමාව නලවන්නට ගායනා කරනවා තමන් අසා සිටි බව රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ 'අත්පසුර' ග්‍රන්ථයේ සඳහන් කරනව(පිටුව 32). ඔබ කියන කාලයත් රත්න ශ්‍රී විජේසිංහයන් මෙම ගීතය කිරි අත්තම්මා දැනගත් කාලයත් අතර විශාල වෙනසක් තිබෙනවා. අනෙක් කාරනාව නම් මෙම කවිය එතැනින් අවසාන නොවීමත් 'කැලේ ගහක මල් දැකලා නෙලා ගලේ වැනුවා..' ලෙසින් තව දිගහැරීමත් එමගින් කොබෙයියන්ගේ කතාව පැවසීමත් නිසාය.

      Delete
  2. Oyata puluwannam male ruwa a mala danido sinduwa nanda malani kiyana analyse karala blog ekata danna puluwanda?

    ReplyDelete
    Replies
    1. ලඟදීම එකතු කරන්නම්

      Delete