Wednesday, December 3, 2014

ඔබට මා ආදරය කල බව මෙතරම්...!!!

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේය පද රචනයට එච් එම් ජයවර්ධන සංගීතවත් කොට විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන මෙම ගීතය බිරිඳක තම ස්වාමියාගේ තාවකාලික වෙන්වීමෙන් පත්වන අසරණ කම, පාලුව, තනිකම ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට සමත්වූ ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

ඔබට මා ආදරය කල බව මෙතරම්...
මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්... 

අප බොහෝ දෙනෙකුන් හට පොදු වූ සත්‍යතාවක් ඇය ඉස්මතු කර පෙන්වයි. "මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්". අප ආදරය කල අයගේ අගය දැනෙන්නේ බොහෝවිට ඔවුන් අප හැර ගියායින් පසුවය. ඔවුන් අපව සැහැල්ලුවෙන් තබන නිසාම, අපේ ජීවිත වල පීඩනයන් අප සමඟ බෙදා ගන්නා නිසාම, අප වෙනුවෙන් කැප වෙමින් අපේ සියලු ඕනෑ එපා කම් සොයා බලන නිසාම අපට ඔවුන්ගේ අගය තේරුම් ගැනීමට තරම් අවශ්‍යතාවක් ඇතිනොවේ. මෙය දරුවන් විසින් දෙමව්පියන්ට, පෙම්වතුන් එකිනෙකාට, අඹුසැමියන් ඔවුනොවුන් වෙත, මිතුරු මිතුරියන් යන ඕනෑම කුලකයකට අදාල කර දැක්විය හැකිය.  

මෙම ගීතයෙන් අප ආදරණීය සුනිල් ආරියරත්නයන් ගෙනහැර දක්වනුයේ තම සැමියා වෙනත් රටකට පිටත්වූ අවස්ථාවේ එම බිරිඳට දැනෙන සිතුවිලි දහරයි. 

ඇය ඔහුට මුලු හදවතින්ම ආදරය කොට ඇත. නමුත් මෙතරම්? ඇය සැබැවින්ම ඇය දැන සිටියාටත් වඩා ඔහුට ආදරය කර තිබේ. වෙන්වීම තුල එය ඇයට තදබල ලෙස දැනෙන්නට ගනී.මෙය තවත් බලවත්ව දැනීමට හේතුව ඔහු සැතපුම් දහස් ගනනක් දුර රටකට යන නිසා යුතුය.

වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ...
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුලඟේ...

ඔහු රැගත් ගුවන් යානය උඩු ගුවනේ නොපෙනී යන තුරුම ඇය ඒ දෙස කඳුලු පිරි දෙනෙතින් බලා සිටින්නට ඇති. පෙර ඔව්න් දෙදෙනාම මෙලෙසම නිල් අහස දෙස බලා සිටි වාර අනන්තවත් තිබෙන්නටත් ඇති. නමුත් එදා සුන්දර නිල් අහස ඇයට අද හිස් බොල් අහසකි. සුන්දර රටා මැවූ වලාවන් අද ඔහුගේ අවසාන දසුන ඇගේ නෙතින් වසන ඇයට එරෙහි වූවකි.  

ඇය සැම දාමත් ඔහුගේ සිනහව ප්‍රිය කරන්නට ඇති. එය රචකයා උපමා කරනුයේ මද සුලඟට ලතාවකට ඒ මේ අත නැලැවෙන සිත නිවා සනසන පහන් වැටක් ලෙසිනි. නමුත් අද ඇය දකින්නේ මද සුලඟ වෙනුවට ඔහුගේ  සිනහව නැමති පහන් වැට නිවා දමන ඉහල අහසේ ඇති සැඩ සුලඟයි. ඔහු රැගත් යානය ඔහුව ඇය වෙතින් මොහොතින් මොහොත ඈතට රැගෙන සැඩ සුලං කපා ගෙන නොපෙනී යයි.

ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ..
කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ...

ඇයගේ ලොවට ආලෝකය, ශක්තිය, පැවත්ම, ජීවිතය ලබාදුන් හිරුත්, සිසිලස, කාන්තිය, සැනසුම ලබා දුන් සඳුත් ඔහුය. ඔහුගේ මේ වෙනව යාම තාවකාලික උවත් එය ඇයගේ ජීවිතයට ඇති කරන බලපෑම අති මහත්ය. ඇයගේ ලෝකයේ හිරු, සඳු දෙකම මියැදී ගොසිනි. හිරු, සඳු නැති ලොවක පවතින මූසල ඝන අන්දකාරය තරම් අඳුරක් ඇගේ ජීවිතයද වෙලාගෙන ඇත.  

අවසාන වශයෙන් ඇය සානුකම්පිත ප්‍රශ්නයක් ඔහුගෙන් අසයි. මෙතරම් කාලයක් එක යහනක එකට තුරුලුව, ඔහුගේ උණුසුමින් සැනහී, එක පොදියට එකට ගුලිවී සිටි ඇය දැන් කෙසේ මේ හිරු සඳු නැති අන්දකාර පාලු නිවසේ සීතල පැදුර් කෙසේ සිත වාවා ගෙන නිදන්නද යන ප්‍රශ්නයයි.

ඇතැම්විට අඹු සැමියන් ඔවුනොවුන් ගෙන් දුරස් වීම පෙම්වතුන් දුරස් වීම තරම් හැඬු කඳුලින් බර නොවූවද එහි පවතින සංකීර්නත්වය බොහෝ සෙයින් ගැඹුරුය. එය මොනවට විදහා පාන ගීතයක් ලෙසින් මෙම ගීතය දැක්විය හැකිය. 

මෙම ගීතයේ අප බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් මට සොයා ගැනීමට හැකිවිය. එනම් මෙම ගීතය අප ආදරණීය ගායක සෝමතිලක ජයමහ විසින් ද ගායනා කර ඇති බවයි. එහි සංගීත නිර්මාණය ද ඔහු විසින්ම සිදුකොට ඇත. නමුත් එතුමා පවසන පරිදි එම ගීතය දැන් ප්‍රචාරය නොවේ. එමෙන්ම එහි පිටපතක් හෝ සොයා ගැනීමට නැත.  

අවසාන වශයෙන් මාලිනී බුලත්සිංහල කලා ශූරිනියට නිවන් සුව ප්‍රාර්තනා කරමු.!!!

  HM-Jayawardena  



0 comments:

Post a Comment