Tuesday, December 9, 2014

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මට ද ආදරේ කියා තිබේ...!!!



අප ආදරණීය ගීපද රචක සුනිල් ආර් ගමගේ විසින් රචිත, අප අතරින් වියෝවූ ආදරණීය ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තමන් හැරගිය ඇය තවකෙකු සමඟ පෙමින් බැඳී සිටිනු දැක, ඔහුට ඇය පිලිබඳ කරන කාරුණික අවවාදයක් සමඟම තනිවූ පෙම්වතාගේ සිතේ අවදිවන මතක ආවර්ජනයන් ඔහු රිදවන අන්දමත් කදිමට කියාපාන ගීයකැයි මට සිතේ.

මෙය සත්‍ය සිදුවීමක් පසුබිම් කොට ලියැවුනු ගීතයකි. එහි පසුබිම් කතාව අවසනට සටහන් කිරීම සුදුසු යැයි සිතමි.

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

මෙම ගීතයේ එක්තරා විශේෂත්වයක් තිබේ. එනම් මෙය පෙම්වතකු තම හැරගිය පෙම්වතියට පවසන ගීයක් නොවේ. ඔහු අමතන්නේ ඇයගේ නව පෙම්වතාටයි.

ශෝකය, වේදනාව මෙන්ම ඔහු තුල ඇයකෙරේ ඇතිවන සියුම් ද්වේශයද රචකයා සියුම් ලෙස මෙහිදී ඉදිරිපත් කරයි.

ඔහු පවසනුයේ මෙවැන්නකැයි මට සිතේ. 

"ඔබට ඇය කුමරියකි, මටද ඇය කුමරියක්ම විය. නමුත් එදා මගේම වූ ඇය ඔබට ආදරේ යැයි කියූ අයුරින්ම මටද ආදරේ යයි කියා තිබේ. මෙහිදී කුමරිය යන යෙදීම ඉතා සංවේදීව සහ සියුම් ව යොදා ඇතැයි මම සිතමි. ඇය මගේ කුමරියයි. මට එදවස ඇය කුමරියක්මැයි. නමුත් සැබැවින්ම ඇය කුමරියක් දැයි මම නොදනිමි. ඔබ දැන් සිතන්නේත් ඒදා මා සිතූ ලෙසින්මය. එනිසාම ඔබට ඇය කුමරියක්ම වේ. නමුත් සොයුර සිතන්න. මම ඇය චපල යැයි නොකියමි. එය තීරණය කලයුත්තේ ඔබයි".

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක 
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

ඔහුට අතීතය සිහිවේ. එදා ඔහුව සනසාලූයේ ඇයයි. ඒ කෙසේද යත් ප්‍රෙමයෙන් මෙන්ම රාගයෙන්ද ඇය ඔහුව සනසාලන ලදී. සාගර වෙරළවල් වල ගෙවුනු සුන්දර ආදරණීය සැන්දෑවල් මෙන්ම ඔවුන් දෙදෙනා එකට තුරුලුව ගෙවුනු රාගයෙන් අඳුරු සුලු මොහොතවල් ද ඔහුට සිහිවේ. දැන් ඒ රසය විඳින්නේ ඇයගේ නව පෙම්වතාය. 

"එදා මා සැනසූ පරිද්දෙන්ම දැන් ඔබව මානසිකව හා ශාරීරිකව සනසන්නේද ඇයමයි. පරෙස්සම්වන්න සොයුර ඇයට ඔබව අතහැර තවකෙකු උවද සැනසිය හැකි නොවේද?" ඔහු විමසනවා විය හැක.

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...

ඔවුන් අරමුණක් නැතිව අත්වැල් අල්ලාගෙන මාවත් වල සොඳුරු පෙම් බස් දොඩමින් ඇති තරම් ඇවිද ඇති බව පෙන්වීමට යොදනා "සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී" යන යෙදුම ඉතා සුන්දර වූවකි.  

ඔවුන්ගේ ප්‍රේමය ගොලු කරමින් ඔහුගෙන් සමුගෙන ගිය ඇය, කෙසේද යත්, "සනහස සඟවා දෙනෙත නුරාවෙන්", මෙහිදී සනහස යනු දයාව, ආදරය, සෙනෙහස යන්නට සමාන පදයකි. ඇය දයාව සෙනෙහස, ආදරය පිරුනු ඇගේ දෙනෙත් තුල ඒ ආදරය සඟවා නුරාව, රාගය පිරි දෙනෙතින් ඔබ දෙස බලන අයුරින්ම මා දෙසද බලා ආදරය යන්න මුමුනා ඇත. මෙහිදී රචකයා ඇය ප්‍රේමය සැබැවින්ම හඳුනානොගත්, එහි ස්ංවේදීතාව වටහා නොගත්, ප්‍රේමයටත් වඩා රාගය ප්‍රියකරන්නියක ලෙස ඉඟියක් සපයමින්  ගීතය අවසන් කරයි.    

සුනිල් ආර් ගමගේ මහතාට අනුව මෙය ඔහුගේ මිතුරකු ලැබූ සැබෑ අත්දැකීමකි. ඔහුගේම වචන වලින් ඔහු දිවයින පුවත්පතට මේ සම්බන්දව මෙසේ පවසා සිටින ලදී. 

"මේක සත්‍ය අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ....

කමල් කියන්නේ මගේ ළඟම මිත්‍රයෙක්. පාසල් කාලෙදි ළඟින්ම හිටියා. මේ මිත්‍රයා ඉන් පස්සෙත් මගේ හොඳම මිත්‍රයා වුණා. එකට ගමන් බිමන් ගිය අපි අතර තිබුණේ සහෝදර බැම්මක්. කමල්ට පෙම්වතියක් හිටියා. ඈ ස්වර්ණා. පාසල් ප්‍රේමයක් වුණු නිසාම ඒ කාලේ අපි තුන් දෙනා කතාකර කර හිටියේ එකටමයි. කාලය ගෙවිලා ගියා. දවසක් මාත් එක්ක කමල් මහරගම ඉඳලා කොළඹ එන්න බස් එකට නැග්ගා. බස් එක විජේරාමෙට ළං වුණා. පිරිමි ළමයකුගේ අතේ එල්ලිලා බස් එකට නැග්ග ගැහැනු ළමයයෙක් ළඟ මගේ නෙත නතර වුණා. ‘ස්වර්ණා’ මගේ හිතේ නැගුණේ කුහුලක්. මගේ නෙත නතර වුණේ කමල්ගේ මූණේ. කම්පාව, පරාජය, ගැබ් වෙලා තිබුණ ඒ මූණ කිව්වේ ඒ ස්වර්ණා කියලමයි.

‘මමත් කාලයක් ආදරය කළානේ’

ඔහු කිව්වා. ටික වෙලාවක් ගත වුණා. ස්වර්ණා පෙම්වතාගේ අතේ එල්ලිලා බැහැලා ගියේ මුහුද පැත්තට. ඈ ඔහුගේ අතේ එල්ලිලා උන්න ආකාරය මගේ හිත අරගෙන ගියේ අතීතයට. ගෙදර යනතුරු මට ඉවසිල්ලක් තිබුණේ නෑ. ගෙදරට පය තිබ්බා විතරයි කමල්ගේ හැඟීම මං පදවලට පෙරළුවා."

අවසාන වශයෙන් අපගෙන් අකාලයේ සමුගත් අතිවිශිෂ්ඨ ගායන ශිල්පී ගුණදාස කපුගේ මහතානන්ට නිවන් සුව පතමින් මෙම ලිපිය මෙසේ අවසන් කරමි.

  









0 comments:

Post a Comment