Thursday, April 2, 2015

අපි අයෙත් හමු නොවුනා නම්...








අදටත් එදා මෙන්ම රස විඳිය හැකි, නමුත් එදා තරම් අපට ඇසෙන්නට නොලැබෙන මෙම ගීතය 70 දශකයේ බිහිවූවකි. ආචාර්ය අජන්තා රණසිංහ ගේය පද රචනයෙන් ද, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සුමධුර වූ තනුවකින් ද හැඩවූ මෙම ගීතය අප ආදරණීය සෝමතිලක ජයමහ ගායන ශිල්පියා විසින් ගායනා කරනු ලබයි.

Saturday, March 21, 2015

මට කඳුළු එන්න කලියෙන්.....


ආනන්ද හේවාරංහිඳගේ ගේය පද රචනාවෙන් ද මහින්ද බන්ඩාරයන් ගේ සංගීතයෙන්ද ඔපවත්ව, දීපිකා ප්‍රියදර්ශනී ගේ හඬින් අප හදවත් වලට සමීප කරවූ මෙම ගීතය ප්‍රේමයේ අපූර්වත්වය සහ එය කෙතරම් අව්‍යාජ ද යන බවත් සිහි ගන්වයි. 

මට කඳුළු එන්න කලියෙන්... මං දමා යන්න...
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න...  
මට කඳුළු එන්න කලියෙන්... මං දමා යන්න...

Thursday, March 19, 2015

මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


අප ආදරණීය සෝමතිලක ජයමහ විසින් ගායනා කරන මෙම ගීතය, ප්‍රසන්න චන්දන බණ්ඩාර විසින් රචනා කොට එච්.එම් ජයවර්ධන විසින් සංගීතවත් කොට ඇත.

එච්.එම් ජයවර්ධනයන් විසින් මෙම ගීතයට යොදා ඇති තනුව මෙම ගීතයේ සංවේදී බව තවත් තීව්‍ර කිරීමට සමත්වී ඇත. එයටම ගැලපෙන ජයමහ ගායකයානන් ගේ දුක්මුසු කටහඬ රචකයාගේ පදරචනයට ඉහලින්ම සාධාරණයක් ඉටුකර තිබේ.

Wednesday, March 4, 2015

සන්නාලියනේ.... weavers song


සරෝජිනී නායිදු නම් කිවිඳිය ජීවිතයෙන් සමුගෙන මාර්තු දෙවනිදාට (02) හරියටම වසර 65 සපිරේ. මෙම ගීතය ඇය විසින් රචිත "Golden Threshold"  කෘතියේ "Folk Songs" යටතේ දක්වා ඇති "Indian Weavers" නැමති කවි පංතියයි. මහගම සේකර ශූරීන් විසින් ඉහත කවි පංතිය අධ්‍යයනය කොට ලාංකීය සමාජයට ගැලපෙන සහ සමාජගතවන අයුරින් යම් වෙනස් කම් කොට රචිත ගීතයයි "සන්නාලියනේ".  ගීතය දෙබසක ආකාරයෙන් ඉදිරිපත් කරයි.

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ.....

උදය යනු දවසේ ආරම්භයයි. හිමිදිරි උදය යනු නැවුම්, අලුත් දිනයක ඇරඹුමයි. ඔවුන් සන්තොසයෙන් ඇඳුමක් වියයි.මේ හිමිදිරි උදයේ මෙතරම් සන්තෝසයෙන් කවුරුන් වෙනුවෙන් මේ ඇඳුම වියන්නේ දැයි රචකයා විමසයි. මෙහිදී ජීවිතය, ජීවිත ගමන, එලැඹී ගෙවී යන එක් දිනයකට උපමා කිරීමද දැකිය හැක. "සන්නාලියනේ... සන්නාලියනේ.." යැයි දෙවරක් යෙදීමෙන් ප්‍රශ්ණය අසන්නා තුල සන්නාලියන් දැකීම නිසා ඇතිවුනු උද්යෝගය කෙතරම් වීදැයි ඇඟවීමට යොදන අතර, "හිනැහී... හිනැහී..." ලෙස දෙවරක් යෙදීමෙන් ඔවුන් කෙතරම් සතුටින් පසුවන්නේදැයි පෙන්වයි.

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ...

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ...
ඊයේ ඉපදුනු කුළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ.....

"Blue as the wing of a halcyon wild" ලෙස නායිදු විසින් ලියන ලද පද පෙල අපට වඩාත් සමීප වනු පිනිස, පිලිහුඬුවා ගේ නිල් වන් අත්තටු යන යෙදුම සේකරයන් විසින් මාලගිරා තටු ලෙස වෙනස් කරයි. මෙය හුදෙක් පරිවර්තනයක් පමනක් නොවන බව දැක්වීමට එක නිදසුනකි.

සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

කාල‍ය ගෙවී ගොස් ඇත. ඉපැදුනු දූ සිඟිත්ත දැන් යෞවනියකි. මෙය උපමා කරන්නේ උදය ගෙවා හමාර කොට සන්ධ්‍යාවට එලැඹුනු දවසක් ලෙසිනි.  කාලය සමඟ ජීවිතය එතරම් ඉක්මනින් ගෙවී යයි. ඇයගේ යෞවනත්වය, සුන්දරත්වය සහ ඇයගේ මංගල ඇඳුමේ සුන්දරත්වය සමාන කරනුයේ, බැසයන හිරුගේ රන්වන් පැහැයෙන් ඔවපත්වූ අහසටයි. 

මෙහිදීද "Like the plumes of a peacock, purple and green" යන පදපෙල වෙනස් කරමින් මොනර පිල් වල වර්ණ (දම්, කොල ) වෙනුවට අපට වඩාත් දැනෙනු පිනිස අපේ රටේ විවාහ වලදී මංගල ඇදුමේ වර්ණය ලෙස බොහෝ විට යොදාගන්නා රන්වන් පැහැය යොදා ගැනීමත් මෙම ගීතය අපට තවත් සමීප කරවීමට ඉවහල් වී ඇත. 

සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එලියේ
මැලවුනු මුහුනින් වෙව්ලන දෑතින්
කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ

"White as a feather and white as a cloud"  යන පදය හුදෙක් සුදුපැහැ කුරුළු පිහාටුවක් නොකියා කණකොක් තටුවේ සුදුමැලි පාටට උපමා කරන්නේ කණ කොකා නම් පක්ෂියා ලාංකේය සමාජයේ අවාසනාව ගෙන එන සත්වයකු ලෙස ඇති පිලිගැනීම පදනම් කර ගනිමිනි.   

බුදු දහමේ අපට උගන්වන අනිත්‍ය බව, ජීවිතයේ ඇති කෙටි බව ඉතා සංවේදීව ඉදිරිපත් කරන මෙම අවසාන පද කිහිපය අප සැමට සිතීමට යමක් ඉතිරි කරයි. 

දිනය ගේවී ගොස් ඇත. දැන් ගෙවෙන්නේ සීතල රාත්‍රියයි. මරණය, එහි ඇති මලාණික බව, විචිත්‍රවත් බවින් තොර බව, සන්තාපය, පිලිබිඹු කිරීමට යොදා ගන්නා සීතල රාත්‍රිය, සුදු සඳ එලිය මෙම ගීතය වර්ණවත් කරවයි. අවසානයේ ඉතිරිව ඇත්තේ දුකක් පමණකි. එදා ඔව්න්ගේ මුහුනෙහි තිබූ සිනාවත් විවීමට තිබූ උද්යෝගයවත් අද නැත. අද ඔවුන් මැලවුනු මුහුනු වලින් වෙවුලන දෑත් වලින් වියමනේ යෙදෙයි. මෙතෙක් වේලා ඇඳුම ලෙස යෙදූ යෙදුමද කවියා සළුව වශයෙන් වෙනස් කරයි. 

අප කරනුයේ ද සන්නාලියන් කරන දේම නොවේද. මෙය හුදෙක් අප විසින්ම අපෙන් ම අසන පැණයක් බඳුය. අපත් සන්නාලියන් ලෙසම උපන්දා සිට ජීවිතය නැමති සළුව වියයි. හැඩ වැඩ දමමින්, වියමන දෙස බලමින් සතුටු වෙමින්, ආඩම්බර වෙමින් මේ වියන්නේ අවසානයේ අතහැර යන ජීවිතය නැමති සළුවයි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත්කොට ඔහුගේ අසමසම වූ හඬින් ගායනා කරනු ලබන මෙම ගීතය එවකට අපට අඩුවක් ව පැවති අපේම වූ නිර්මාණ කලාවක් බිහි කිරීමට දායකවූ එක් වටිනා ගීතයකි. 

පහතින් දැක්වෙන්නේ සරෝජිනී නායිදු විසින් රචිත මුල් කවි පංතියයි.

Indian Weavers

Weavers, weaving at break of day
Why do you weave a garment so gay
Blue as the wing of a halcyon wild
We weave the robes of a new-born child

Weavers, weaving at fall of night
Why do you weave a garment so bright
Like the plumes of a peacock, purple and green
We weave the marriage-veils of a queen

Weavers, weaving solemn and still 
What do you weave in the moonlight chill
White as a feather and white as a cloud
We weave a dead man's funeral shroud

 








Thursday, February 5, 2015

අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්



ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයානන්ගේ තවත් එක් අමරණීය ගීතයක් ලෙස සුන්දර මෙන්ම අර්ථපූර්න වූ මෙම ගීතය හැඳින්විය හැකිය. ආචාර්ය වික්ටර් රත්නායක විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය, එදාටත් වඩා වර්තමාන සමාජයට වැදගත් බව පෙනේ.

Sunday, February 1, 2015

වන්නි වන පෙතේ


සුභාවිත ගීතය පෝෂණය කිරීමට තම ගීත රචනා තුලින් ඉමහත් මෙහෙයක් සිදුකල සහ තවමත් සිදුකරන ආදරණීය බණ්ඩාර ඇහැලියගොඩ ගේය පද රචනයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ සංගීතයෙන් ද රසවත් වූ මෙම ගීතය විශාරද සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරනු ලබයි.   

මීට දශක පහකට පමණ පෙර විසූ ගැමි පියවරුන් සහ ඔවුන්ගේ ජීවිත ද, ඔවුනට දාව ඉපදී නගරයේ සිරවූ ඔවුන්ගේ දරුවන් සහ ඒ අය ගතකරන ජීවිත ද, ඉතා සංවේදී ලෙස විමසීමක් සිදුකරන මෙම ගීතය, අපව අප රටේ මේ තාක් සිදුවී ඇති සාමාජීය සහ ආර්ථිකමය වෙනස්වීම් පිලිබඳව ගැඹුරින් සිතීමටද යොමු කරවයි. 

මෙම ගීතයට පසුබිම් වූ කාරණය වරක් බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් "ද නේෂන්" පුවත් පත සමඟ පැවති සාකච්ඡාවක දී පවසා තිබුනි. එය මෙම ගීතය අවසානයේ පල කර ඇත.

වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

ලංකාවේ වියලි කැලෑ ප්‍රදේශ පොදුවේ වන්නිය ලෙස හඳුන්වයි. වනපෙත යනු වනාන්තර පන්තිය, විහිදී ගිය කැලෑවයි. දනව් යනු ජනපද යන්නයි. වෙසතුරු යනු වෙස්සන්තර යන්නද සදිසි යනු සමාන යන්නද වේ. වංකගිරිය යනු බෝසතුන් වෙස්සන්තර රජු සමයේ තපස් රැකීමට ගිය වනයයි.

ඈත පිටිසර කැලෑ මායිම් වූ ගම්මාන වල ජීවත් වන්නේ, එදා වංක ගිරියේ තපස් රැකි වෙස්සන්තර රජුන් වැනි වූ පියවරුමය. දොහොත් මුදුන් කොට වන්දනා කරන්නටම වටිනා පියවරුමය. 

කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

තනිව කිසිවක් නොබුදි ගමේ නෑ නොනෑ සියල්ලන් සමඟ සියලු දේ බෙදා හදා ගෙන ජීවත් වූ ඔවුන් වෙස්සන්තර රජු වැනි නොවේද?  

නමුත් මෙවැනි වෙසතුරු වන් පියවරුන්ට ජාතක වූ දරුවන් ගම හැරදා නගරයටම කොටු වෙමින්, එහිම අවාහ විවාහ කොට ගෙන එහිම වෙසෙයි. මෙය පූරුවේ කල පවක් පලදීමක් වැනිය. ඒ මක්නිසාද යත්, 

කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

මෙසේ නගරයේ සිරවී සිටින දරුවන් ඔවුන්ගේ වෙසතුරු වැනි පියවරුන්ද, ඔව්න්ගේ පියවරුන්ද ලෙස පරම්පරා ගනනින් දන්දීමේ හුරුව ලැබී ඇතත්, ඔවුන් කෙසේ නම් තම පියවරු මෙන් දන් දෙන්නද? මාසයකට වරක් ලැබෙන වේතනය ඔවුන්ට යැපෙන්නටත් නොහැකි තරමකි. ඉතින් දන් දීමේ පුරුද්ද සහ අශාව ඇතත් කරකියා ගැනීමට නොහැකිව හොර රහසින්ම කිසිවෙකුටත් නොදීම තමන් සහ තම කුඩා පවුල පමණක්ම යැපෙයි. මෙය පූරුවේ කල පවක්ම නොවේදැයි රචකයා අප සැමගෙන්ම විමසයි. 

ආදරණීය බණ්ඩාර ඇහැලියගොඩ ශූරීනි, නොනිමි ආශාවන් පසුපස හඹා යන සමාජයක යහපත් පියවරුන් ගේ අවසාන පරම්පරා පුරුකක හිමිකරුවන් වූ ඔබ වැනි පුතනුවන් තවමත් පව්කාර නොවේ. නමුත් තවත් පරම්පරා කීපයකට පසුව ඉපැදෙන මුනුබුරන් මීමුනුබුරන් කෙතරම් නම් අසරණ ද?

මෙම ගීතය ලිවීමට පාදක වී ඇත්තේ බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ පියාගේ අවමන්ගල්‍යයයි. ඔහුගේ පියාගේ අවමගුලට පැමිණි පිරිස්, ඔහුගේ පියා මුලු ගමටම කෑම බීම බෙදා දුන් අයකු බව පවසන ලදී. ඔහුගේ පියා ගොවියකු නිසා එසේ කිරීමට හැකි උවත් ඔහු වැනි රජයේ සේවකයකු කෙසේ නම් ඔහුගේ පියා මෙන් දන් දෙන්න දැයි සිතට නැගුණු සිතිවිල්ලේ නිර්මාණයයි මේ... 

  






Wednesday, January 28, 2015

මා සනසා..මා නළවා..



කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන් සිංහල භාෂාවේ අලංකාර පද යෙදූ ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. අප ආදරණීය මර්වින් පෙරේරා විසින් ගායනා කරනු ලබන මෙම ගීතයේ සංගීතය පුන්‍යසිරි මහවත්ත මහතා විසිනි. 

ස්ත්‍රිය, මධුවිත, රාත්‍රිය, සංගීතය එක්වූ තැන පවතින සුන්දරත්වය විග්‍රහ කරන පුරුෂයකු එම අවස්ථාව ඉදිරිපත් කිරීම මෙමෙ ගීතය හරහා ගෙනහැර දක්වයි.