විජය ධර්මශ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද දුහුල් මලක් චිත්‍රපටිය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ ශූරීන් විසින් රචිත, සරත් දසනායකයන් සංගීතවත් කොට, විශාරද නන්දා මාලිනිය ගේ සුමධුර හඬින් අප හදවතට සමීප වන මෙම ගීතය ජීවිතයේ සුවිශේෂ පැතිකඩක් ඉදිරිපත් කරයි.
මෙම ගීතය සුදුසුම ආකාරයට තේරුම් ගැනීමට නම් චිත්‍රපටියේ සාරාංශය ඉදිරිපත් කිරීම වැදගත් යයි සිතමි. එසේ නොමැතිව මෙම ගීතය හුදෙක් අනාචාරයේ යන කාන්තාවක් පිළිබඳ ගීතයක් පමනක් යැයි ඔබට සිතෙනු ඇත.
නිලුපා සුරවීර මෙම ගීතයට අදාල කාන්තාවයි. ඇය සුරවීර නම් කථිකාචාර්යවරයකු සමඟ විවාහ වී සිටී.ඔහු ඉතා කාර්යබහුල පුද්ගලයෙකි. බොහෝ කාන්තාවන් බලාපොරොත්තු වන ආදරය, අවධානය සහ අවබෝදය ඔහු තුල නොවේ. ඇය තනිකම, නොසලකා හැරීම සහ ඇයගේ හැඟීම් වටහා නොගැනීම නිසාම හුදකලා වීමකට ලක්වේ.
ඇය තමන්ගේ පාලුව, තනිකම මකා ගැනීමට තරුණයකු (රොහාන්) සමග සම්බන්දයකට යොමුවේ. ඇයගේ අරමුණ තම පාලුව මඟහරවා ගැනීම වුවද ඔහු ඇය සමඟ පෙමින් වේලේ. ඇයද ඔහුට ආදරය කරන නමුත් ඇයට ඇගේ විවාහ ජීවිතය අවුල් කර ගැනීමටද අවශ්‍ය නොවේ. එමෙන්ම ඇය ඇගේ ස්වාමියාටද ආදරය කරයි.
මෙවැනි තත්වයකට පත්ව ඇති යුවතියකගේ බුද්ධිය සහ හැඟීම් අතර දෝලනය වන මානසික ව්‍යාකූල තාවය සියුම් ලෙස මෙන්ම ඉතාමත් ස්ංවේදී ලෙස අප සිතුවිලි සසල කරවීමට සමත්වන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්වියහැක .
රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි...
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟකල ආදරයයි....
ඇය විවාහයේ නෛතික මෙන්ම සාමාජීය වශයෙන් පවතින බැඳීම කෙතරම් සංකීර්ණදැයි හොඳින්ම දනී. එය රනින් නිමවූ කෙන්දකි. එම රන් හුයෙන් බැඳී තිබෙන්නේ ඔවුන් දෙදෙනාගේ ආදරයයි. මෙයින් ඉතා පැහැදිලිව ඇය ඇයගේ ස්වාමියාට ආදරය කරන බව පෙනේ. ඇයට මෙම විවාහය හුදෙක් නෛතික ලියවිල්ලක් පමනක්ම නොවේ. එය තුල ආදරයද පවතී.
නමුත් ඇය ඇයගේ පාලුව, තනිකම මකාලූ, ඇයගේ හැඟීම් අවබෝද කරගත් රොහාන්ගේ ප්‍රේමයෙන් වසඟව සිටි. ඇයගේ සිතුවිලි වසඟ කරගැනීමට ඔහු සමත් වී ඇත. එය හුදෙක් තාවකාලික ආකර්ෂනයක් බවද එයට අනාගතයක් හෝ පැවැත්මක් නොමති බවත් ඇය දනී. නමුත් එය රනින් නිම නොවූවද, කෙන්දක් නොවේ, එය රැහැනකි. එයද ආදරය තුලින්ම නිමවූ රැහැනකි.
කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුනා පමණයි....
දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි...
හිරු සඳු එකවර දෙපස නැගේ...
කළුවර ඇයි විජිතයම මගේ....
ඇය ජීවිතය නම් නිමක් නොමැති අහසේ අරමුණකින් තොරව කිරිල්ලියක සේ පියා සැලූ බව වටහාගෙන ඇත. සිදුවන එකම දෙය නම් ගමනාන්තයකට ලංවනවා වෙනුවට අත්තටු රිදීම පමණි. ඔවුන් දෙදෙනාම ඇයට එක හා සමානව ජීවිතයට වටී. එමෙන්ම ඇයගේ ජීවිතයද ඔව්න් දෙදෙනාටම එක හා සමානව අයිතිවාසිකම් පවතිනබව ඇය පිලිගනී. එක පසෙකින් ස්වාමියාට ඇති නෛතික සහ සමාජ සම්මත අයිතියයි. අනෙක් පසින් ප්‍රේමය විසින් ඔහුට පවරන ලද ආත්මීය අයිතියයි. දෙපසට විහිදාලූ ඇගේ දෑත ඔවුන් දෙදෙනාටම හිමි බව ඇය පවසන්නේ එබැවිනි.
ඇයට අයිතිවාසිකම් පවතින, ඇයට ආදරය කරන, එමෙන්ම ඇය ආදරය කරන ඔව්න් දෙදෙනා ඇයට හිරු සහ සඳු මෙනි. අවාසනාව නම් හිරුත් සඳුත් එකවර එකම අහසක පායා ඇතත් ඇගේ ලෝකය අන්ධකාරයේ ගිලී පැවතීමයි. ඇය කෙතරම් මානසිකව අසරණ දැයි මෙයින් ඉතා ස්ංවේදී ලෙස අපට ගෙනහැර දක්වයි.
කනාටු සුලඟේ දුහුල් මලකි අද වල්මත්වී පාවෙන්නේ....
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ....
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ....
වියලි පලදාවක් නැති සුලඟකට හසුවුනු දුහුල් මලක් අයාලේ පාවී යන්නාසේ , හරයක් නැති, අවසානයක් නොදන්නා, ගමනක යෙදෙන බව ඇය වටහාගෙන ඇත. ඇයට මෙම හරසුන් ගමනින් මිදීමටද අවශ්‍ය වී ඇත. නමුත් තවමත් ඇය ඔහුගේ ස්වාමීත්වයත් රොහාන් ගේ ආදරය සහ අවබෝදයත් අතර අතරමංව සිටී. හෙට දින ඇය සමුදෙනු ලබන්නේ කාටදැයි තීරණය රචකයා අපට පවරමින් මේ සුන්දර එමෙන්ම කටුක ජීවන වෘතාන්තය ගලායාමට ඉඩහරී.
ආදරය, ජීවිතය, විවාහය සහ මානව අවශ්‍යතා, මෙන්ම ගැහැනිය යනු පිරිමියා සඳහා නිමැවූ මෙවලමක් නොව මානව හැඟීම් සපිරි ජීවියකු බවද සියුම් ලෙස ඉදිරිපත් කරන මෙමෙ ගීතය ජීවිතය දෙස නව මුහුනුවරකින් සිතාබැලීමට ආරාධනා කරන ගීතයක් ලෙස මට සිතේ.
0 comments:
Post a Comment