අති විශිෂ්ට ගීපද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගේය පද රචනාවෙන් ද ආචර්ය වික්ටර් රත්නායකයන් ගේ
සංගීතය සහ සුගායනයෙන්ද නිමැවුනු "ඔබෙ දෙතොල් පෙති ලිහී..." ගීතය ඉතා සුවිශේෂ ගීතයක් ලෙසින් සැලකිය හැකිය.
ඔබෙ දෙතොල් පෙති ලිහි පිපුනු හසරැල් විලේ...
හද දියඹ ගලා යයි රැලි ලමින් සැලි සැලී...
එවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ..
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...
ගීතය ආරම්භ වන්නේ ප්‍රේමයේ පිවිතුරු බව, සරල බව, විච්ත්‍ර බව සහ රාගයෙන් තොර නොවුනද එය වැදගත් කොට නොසැලකීම විදහා පාමින් නව යොවුන් වියේ නව යොවුන් ප්‍රේමයක ඇරඹුමකිනි...
ඔබෙ දෙතොල් පෙති ලිහි පිපුනු හසරැල් විලේ...
ඔහු දකින්නේ ඇයගේ සිනහවයි.. ඔහුට ඇගේ දෙතොල් දිස්වනුයේ මල් පෙති ලෙසිනි. මල් පෙත්තක ඇති සුන්දර බව මෙන්ම මුදු මොලොක් බවද ඔහු ඇයගේ දෙතොල් තුල දකී. දෙතොල් ලිහී ජනිත වනුයේ සිනහවයි, එය ඔහුට රැලි නගන විලක් ලෙසින්ම දිස්වේ. සිනහව නැමති රැලි වලින් පිරී ගිය විලක්...
හද දියඹ ගලා යයි රැලි ලමින් සැලි සැලී...
ඇයගේ හසරැලි පිරුනු විල දකින ඔහුගේ දියඹ මෙන් ගැඹුරු නමුත් නිසලව තිබූ හදවත නැවුම් බවකින් වෙලී යයි. ඇයගේ හසරැලි විල මෙන්ම දැන් ඔහුගේ හදවත ද ආදරය නැමති රැලි වලින් චන්චලව පවතී. මෙය ඔහුට නැවුම් වූ අත්දැකීමකි.. මෙහි රාගය නැත... ඇත්තේ සෙනෙහස පමණකි.
එවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ..
මේ ඔහුගේ ප්‍රථම ප්‍රේමයයි. එය ඔහුට සුවයක් ගෙනේ... එය පෙර නොවිඳි සුවයකි. මෙහිදී රචකයා රසයක් වෙනුවට සුවයක් යනුවෙන් භාවිතා කරනුයේ රාගයෙන් තොරවූ බව විශේෂ කොට පැවසීමට විය හැකිය.
තුන්සිත යනුවෙන් මෙහිදී යොදනුයේ බටහිර මනෝ විද්‍යානුකූලව නොව බුදු දහම අනුව විය යුතුය."තුන් හිතකවත් තිබුනෙ නැහැ" යනුවෙන් අප යොදනුයේ "තුන් දොර" එනම් සිත, කය, සහ වචනය වෙනුවෙන් බව මට සිතේ. මෙහි දී ද "තුන් සිතම සලිත වේ.." යනුවෙන් යොදනුයේ සම අර්ථයෙන් වියහැක.
වැදගත් වනුයේ ඇයගේ සිනහව දැකීමෙන් ඔහුගේ තුන්සිත දැහන් ගත නොවීමයි. ඔහු මෙය අවබෝද කොට ගනී. මෙය භාවනාවක් නොවේ. සිත කය වචනය සලිත කරවන හැඟීමකි.
සසර ගමන කෙලවර පිනිස ඇය හේතු නොවෙන නමුදු ඇගේ සෙනෙහස ඔහු සුවපත් කරනා නිසාම ඔහු ඇයව සසර සැරිසරන තෙක්ම පතයි....
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලැඹීලා...
තරු කඩා වටෙන විට අහස් ගඟ කළඹලා...
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා...
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...
කාලය ගෙවී යමින් පවතී. දැන් ඔවුන් හිරු බැස යන සැඳෑ සමයන් පසු කරමින් තරු අහසට වඩින තුරුම එක්ව කාලය ගෙවයි. මෙහිදී අහස ගංගාවක් ලෙසින් යොදන උපමාව, අහස නැමති ගංගාවෙහි රැලි නගන කඩා වටෙන තරු කැට ඉතා සුන්දර චිත්‍රයක් මනැසේ මවාලයි.
දැන් ඔහු ඇයගේ සිනහවට වැඩියමක් දකී. ඔහු ඇයගේ සමීපයේ සිට ඇයගේ දෙනෙත් දෙස බලා කතා කරමින් සිටිය විටෙකය ඔහු මෙය මුලින්ම දුටුවේ. එය සැබැවින්ම දේවතා එලියක් අහසේ ඇදෙන විට ක්ෂනයකට අහස දීප්තිමත් කරමින් ඇතිවන කාන්තියයි. ඔහු ඒ කාන්තිය ඇයගේ දෙනුවන් තුල දකී.
රචකයා මෙහිදී විශේෂ වූ කාරණා දෙකක් ගෙන හැර දක්වන බවක් මට සිතේ. පලමු වැන්න ඔවුන්ගේ සම්බන්ධය මුහුකුරා ගොස් ඇති බව පහත පද පෙල මගින් පෙන්වීම,
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලැඹීලා...
දවස ගෙවී ගොස් රාත්‍රිය උදාවී ඇති සේම ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයටද කලක් ගෙවී ඇති බව පෙන්වීම සහ පහත පද පෙල මගින් කාලයත් සමග රාගය අල්ප වශයෙන් ඔවුන්ගේ සම්බන්ධය තුල මුහුව ලැගුම් ගන්නා ස්වභාවයයි.
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා...
ඔහුට බලා සිටිය නොහැකි ඇයගේ නුවන් දෙස නොවේ. කඩා වැටෙන තරු කැට දෙසය. එතරම් ඔහු ඇගේ දෙනෙත් කාන්තියට ලොල් බඳී. ඇගේ සිනහව ඔහුට සුවයක් ගෙන දුන්නද, ඇගේ නෙතු කාන්තිය නැති තැන ඔහුට තවදුරටත් සිනහවෙන් මෙන් විඳි, නිවුනු සුවය විඳිය නොහැකිව තිබේ. හේතුව ඇති විට පිනවන නැති විට දවන රාගයයි.
හසරැලි තුලින් අවදිවූ ඔහු ඇයගේ දෙනෙත් තුල කාන්තිය සොයා යන ප්‍රේමය පමනක්ම නොවූ විඳීම අපූර්ව ලෙස ඉදිරිපත් කිරීමට රචකයා සමත්වේ.
නා ගසක් දළු දමා වසන්තය එලඹිලා...
මද පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා...
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා...
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...
දැන් ඔවුන් ගෙවන්නේ ප්‍රේමයේ වසන්ත සමයයි. රචකයා වසන්තය එලැඹුනු බවට ලා රත් පැහැයෙන් දළු දැමූ නා ගසක් උපමා කොට ගන්නේ සෙනෙහසේ මිහිර හා මුසුවෙමින් පවතින ශෘන්ගාරය, රතිය ද ගෙනහැර දැක්වීමට දැයි මට සිතේ.
නා ගසක් දළු දමා වසන්තය එලඹිලා...
මද පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා...
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා...
සෙනෙහසේ වසන්තය ගෙවමින් පවතින ඔහුට ඔහු මුලින්ම වසඟ වූ, සලිත වූ ඇයගේ දෙතොල් නැවුම් වූ අයුරකින් නැවත වතාවක් දිස්වේ. නමුත් ඔහු දැන් කලින් නොදුටු යමක් දකී. ඇයගේ දෙතොල් පොපියයි, නැලවෙයි, මද පවනින් සලිත වූ නා දළු මෙනි.
කාලයත් සමග වැඩෙන ප්‍රේමය, සෙනෙහස අතරතුර එකිනෙකා තවතවත් හොදින් වටහා ගැනීම. ඔවුනොවුන් නවතාවයකින් දැකීම මෙන්ම ප්‍රේමය සමග මුසුව වැඩෙන අශාවන්, හැඟීම් යන සියල්ල ඉතා සූක්ශම ලෙස ඉදිරිපත් කොට ඇති ආකාරය රචකයා සතු සංවේදී තාවය සහ දක්ෂතාවය මැනවින් පිලිඹිබු කරයි.
යුග ගනන් පැමිණි මඟ පැටලිලා වැරදිලා...
ඔබ මගෙන් වෙනව ගිය ලකුණු ඇති මාවතේ...
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා..
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...
දැන් ඔවුන් වසන්තය හමාර කොට සිටී. මෙතැනින් ඉදිරියට යාමට බොහෝ පෙම්වතුන් අසමත් වෙයි. එය ස්වභාවය කොට මොවුන් දෙදෙනාට ද වෙන්වීමට කාලය පැමින ඇත.
වෙන්වීමට හේතුව හෝ වරද ඉදිරිපත් නොකිරීමට වග බලා ගන්නා රචකයා, ඔහුගේ සිතේ වූ කැලඹීම, වික්ෂිප්ත බව සහ ඇය කෙරෙහි වූ ආදයර මෙන්ම ඔහු තුල ඇය කෙරෙහි වූ රාගික තෘෂ්ණාව ද ඉතා සියුම් ලෙස ගෙනහැර දක්වයි.
යුග ගනන් පැමිණි මඟ පැටලිලා වැරදිලා...
යුග ගනන් ගෙවී ගොස් නැත. නමුත් ඔහුට එය යුග ගනනාවක් මෙන් දැනීම තුලින් ඔහු තුල ඇය කෙරේ වූ ආදරය, සෙනෙහස, ඇය ඔහුගේ ජීවිතයට කෙතරම් සමීපද යන්න ඉතා සංවේදීව ඉදිරිපත් කරයි.
ඔහු විශ්වාස කරනුයේ යමක් පැටලී ඇති බවකි. යමක් වැරදී ඇති බවකි. නෝඑසේනම් යලිත් නිවැරදි කොට ගත හැකි පසුබිමක් ඇතිබවයි. ඔහුට අවශ්‍ය එයයි. එය ඔහු සිතින් මවා ගත් තත්වයක් බව මීලග පද දෙපලින් ගෙනහැර දක්වයි.
ඔබ මගෙන් වෙනව ගිය ලකුණු ඇති මාවතේ...
කාවිසින් කවුරුන් අත හරින ලද්දැයි ඉගියක් සපයන අතරම, එය සිදුවී හමාර බවත් නැවත නිවරදි කොට අලුත් ආරම්භයක් නොමැති බවත්, තරුණයා තුල වූ තමන් ඇතුලාන්තයෙන් පුපුරා ඇති තත්වයත්, ආගිය සලකුණු නොමැති තනිමංසලක අතරමන් වූ අයුරුත් අපට ඉදිරිපත් කරයි.
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා..
ඉහත පදවැල රචකයා යොදා ගන්නා ආකාරය ඉතා සියුම්ව සලකා බැලීම වටී.
ඔහු ලතැවෙනුයේ ඇයගේ වියෝවෙනි. මක් නිසාද යත් ඇයගේ පෙර අසුර ඔහු රිදවන නිසාවෙනි. මෙහිදී අසුර යන්න යොදනුයේ ඇයගෙන් ඔහු ලැබූ මානසික ඇසුර තුලින් ලද සන්තුෂ්ටිය, සුවය, නිවීම, ආදරණීය කැලඹීම සහ ඔහු ඇයකෙන් පමණක් පැතුවේයයි අපට හැඟෙන කායිය සුවයද යන දෙකම නියොජනයට වියයුතුය. ඔහු වැදිමනත් දැවෙන්නේ මේ දෙකින් කුමක් අහිමි නිසා දැයි තීරණය රචකයා නොදක්වයි.
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...
ඇයගේ සිනහව දුටු මොහොතේ ඔහු "සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ.." පවසූ අන්දමත් දැන් එයම පවසන අන්දමත් අතර වෙනස සිතෙහි මවා ගැනීම පවා වෙහෙසකර වේ.
අහස්තල පොලෝතල ඔබට මට පොදුවෙලා...
හදවතින් එක් උනත් ගතින් දෙදෙනකු වෙලා...
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා....
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...
අහස්තල පොලෝතල ඔබට මට පොදුවෙලා...
තවදුරටත් ඔවුනට පුද්ගලික වූ කිසිවක් මේ අහස පොලව අතරතුර නැත. ඔහුට ඇයගේ හෝ ඇයට ඔහුගේ හෝ අයිතිවාසිකම් කිසිත් නැත. සියල්ල නිමවී ඇත.
හදවතින් එක් උනත් ගතින් දෙදෙනකු වෙලා...
දෙවැනි පද මාලාව තුලින් අපව වෙනස් වූ අලුත් තත්වයකට ගෙනයාමට රචකයා උත්සහ දරනවා යයි මට සිතේ.
ඇය ඔහුගෙන් වෙන්වී ගියත් ඔවුන් තවමත් සෙනෙහසින් සිටින බව ඒ ඉඟියයි. ප්‍රෙමයේ සංවේදී බව පෙන්නුම් කරන අවස්ථාවකි මෙය. නමුත් ඔහුට එය දරා ගත නොහැකි බවත් එයින් ඔහු පත්ව ඇති අවසනාවන්ත තත්වයත් දක්වමින්, එතැන් පටන් සසර සැරි සරන තෙක් ඇය වෙනුවෙන් ලතැවෙන ඔහුගේ කථාව එලෙසින් නිමාකරයි...
අවසාන වශයෙන්, ප්‍රේමයේ ආරම්හයේ සිට වියොව දක්වා අපව දුක සතුට තුල දොලනය කරමින් සියුම් ලෙස මානව හැඟීම් ස්පර්ෂ කිරීමට තරම් භාග්‍යවන්ත වූ ඔහු, ආදරණීය ප්‍රේම්.... ප්‍රේමකීර්ති ද අල්විස් සංගීත වේදියාණනි.... ඔබට නිවන් සුව....!!!
0 comments:
Post a Comment