Saturday, November 15, 2014

පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ...!!!


රෝහණ, සුනිල් සහ සපූ (රෝහණ වීරසිංහයන් ඔහුගේ "ගමන් මඟක්" කෘතියේ කුමාරදාස සපුතන්ත්‍රී ශුරීන් හඳුන්වන්නේ සපූ ලෙසිනි) යන ත්‍රිත්වයට පින් සිඳුවන්නට ශ්‍රිලාංකීය සුභාවිත ගීත සංචිතයට එක්වූ තවත් අපූර්ව ගීතයක් ලෙසින් පිලේ පහන ගීතය හැඳින්විය හැකිය.

රෝහණ වීරසිංහයන් ගේ අනෙකුත් බොහොමයක් ගීතවල මෙන්ම මෙම ගීතයේ සංගීතයද ඉතාමත් ලයාන්විත බව පලමුවෙන්ම සඳහන් කලයුතුමය. තේමාවට අතිශය ගැලපෙන අයුරින් යොදා ඇති ස්වර මාලාවන් අපේ සිත ඉතා සන්සුන් තත්වයකට පත් කිරීමට සමත්වේ.

ගීපද රචකයන් සොබාදහම, ගස්, වැල්, මල් මෙන්ම සතා සීපාවා  සජීවී රූපකයන් ලෙස ගීතවලට යොදා ගැනීම අපට දැකගත හැකිය. මෙමෙ ගීතය එයට කදිම නිදසුනක් සපයයි. මෙහිදී මෙහි එන කතා නායකයා සංවාදයේ යෙදෙන්නේ පුද්ගලයකු සමඟ නොවේ ඔහුගේ තනිකම, ඔහු ජීවත් වන පරිසරය සහ ඔහු හඳුනන සතා සීපාව සමග වීමද මෙහි ඇති අපූර්වත්වයකි.

අද කාලයේ ගීත වලට මෙන් නොව මෙම ගීත වලට දෘශ්‍ය මාධ්‍යයන්හි සහය අවශ්‍ය නොවෙන තරම්ය. ඒ මන්දයත් ගීතයේ පද පේලි කියවන විටම අපට චිත්‍රයක් මවාගත හැකි තරම් සියුම්ලෙස මෙම ගීත රචනා කොට ඇති බැවිනි.

පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ...
තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පැදුරේ....

මෙහි පලමු පද යුගලය කියවන විටම මට සිහිවන්නේ හද්දා පිටිසර ගමක, මැටියෙන් තැනූ, හුනු පිරියම් නොකල බොහෝ විට පිදුරු හෝ පොල් අතු සෙවි කල කුඩා පැලකි. මෙවැනි බොහොමයක් නිවෙස් වල ගෙය ඉදිරිපස, ගෙට අතුලුවීමට කලින් කුඩා ආලින්දයකි. මෙය පිල ලෙසින් හදුන්වයි. බොහෝ විට බුලත් හෙප්පුව මෙම පිලෙහි දැකගත හැකිය. පිලේ ලාම්පුතෙල් පහනක් ද බොහෝ විට දැල්වෙමින් පවතී.

පිලේ පහන දල්වනු ලබන්නේ ගොම්මන් වන විටය. ගොම්මන් යන්නෙහි අරුත නම් තණ කෑමට ගිය ගොනුන් නැවත තම ගව මඩුව බල ඒමට මගට බසින වෙලාව යන්නයි.

මෙම පුද්ගලයා කලුවර වැටෙනවිට දල්වා තිබූ පහනද නිවා දමයි. ඔහුගේ සිත තුලද ඇත්තේ ගොම්මන ඹඳු මූසල අඳුරු බවකි. ඔහුගේ සිත අඳුරේ ඇතිවිට පිලේ පහනින් ඇත්තේ කිනම් නම් පලයක්ද.

අඳුර ගලන ගොම්මන් හැන්දාවක නිදි පැදුරේ තනිවම සිටින ඔහුට තනියට කිසිවෙකුත් නැත. කිසිවකු නැති ඔහුගේ තනිකම මකන්නට, ඔහුට තනි රකින්නට, සිත නැමති නිවහනට පැමිනෙන ලෙස තනිකමට අරාධනා කරයි. ඔහුගේ සිත නැමති නිවහනේ ඉඳිකඩ වසා ඇත. ඒ තනිකම හැරෙන්නට වෙන කිසිවෙකුත් නොපැමිණිය යුතු නිසා විය හැක. ඉඳිකඩ ඇරගෙන පැමිනෙනු වෙනුවට ඉඳිකඩ පැන පැමිනෙන්න යැයි පවසන්නේද එම අර්ථයෙන්ම දැයි සිතේ.  

පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න.....
දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න...
කාගෙත් දුකට හූමිටි ලන උල ලේනෝ හඬා යන්න....
මගේ තනිය ලඟට වරෙන් තුරුලු වෙලා නිදාගන්න....

අප ජීවිතයේ සිද්දීන් සහ හැඟීම් සමග පරිසරයේ සිදුවන ස්වභාවික සංසිද්දි ගලපා ගැනීම නිරායාසයෙන් ම සිදුවන්නකි. ඉහත පද වැල් කීපයද එයට කදිම උදාහරණයකි.

පෑල යන වචනය සිංහල භාෂාවේ විවිධාර්ථයෙන් යෙදීම් දැකගත හැකිය. "වී පෑල, පෑල දිග ආදී වශයෙනි. 
මෙහිදී "පෑල විය" යනුවෙන් යොදනුයේ මොහු වයස්ගත, ජීවිතයේ සැඳෑසමය ගතකරන පුද්ගලයකු බව ඇඟවීමට විය හැකිය.රාත්‍රියට අමාවක නොවේනම් සඳ පෑයීම සැමදාමත් සිදුවන සිද්දියකි. නමුත් මෙය ඔහු ඔහුගේ ජීවිතයට ඈඳා ගනී. හීතල හඳ පායා ඇත්තේ ඔහුගේ තනිකමට ඔහු වෙනුවෙන්ය.  

මද පවනට දොල ලඟ උණ පඳුර එදා මෙන්ම අදත් සෙලවේ. නමුත් මේ ස්වභාවික සංසිද්දියත් ඔහු තමාගේ කරගන්නට උත්සහ කරයි. ඔහුට මේ අය හැරෙන්නට අන්කවරෙකු ඇතිද?  

උල ලේනා හඬන්නේ අපේ දුකට නොවේ. නමුත් ඔහු එසේ විශ්වාස කරයි. එනිසා අන් අයගේ දුකේදී සැමදාමත් හැඬු උල ලේනාට ඔහු තමන්ගේ දුකේදීත් වැලපෙන ලෙස පවසයි. අවසානයේ ඉතිරිවන්නේ තනිකමයි. ඔහුට තුරුලු වී නිදා ගැනීමට, ඔහුගේ තනිවුනු සිතට තුරුලු වි නිදා ගැනීමට තමන් තනිකමට ඇරයුම් කරයි.  

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුනේ ඉරි මාවක...
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක.....
බොල් ඉපණැලි පුසුඹ තියෙයි පිපී සුසුම් මල් යායක....
හිතේ දුකට දෑස හඬයි කඳුලු හලා ගංගාවක...

ඉරි මාවක යනු අරුණෝදයි. මෙහිදී රචකයා අදහස් කරනවා ඇත්තේ අනෙක් තරුණයින් මෙන් මොහුද තරුණ වයසේ ප්‍රේම කර විවාහ පත් වී සිටි බව විය යුතුය. නමුත් ඇය ඔහු හැර ගොස් ඇත්තේ ඔහු වියපත් වූ පසුව යැයි දෙවනි පද පේලියෙන් ඉඟි කරයි. එයත් ඔහුට නොදන්වා හොර රහසේම බව "පෑල දොරින් යන්න ගියේ" යන්නෙන් අරුත් ගන්වයි. 

දැන් ඔහු ගේ ජීවිතයද අස්වනු නෙලාගත් පසු ඉතිරිවූ බොල් ඉපණැල්ලක් හා සමානය.බොල් ඉපණැල්ලේ ඇත්තේ වියලුනු පරවුනු ගොයම් ගස් වල සුවඳයි. එවන් සුවඳින් සුවඳවත් වූ මල් යායක් ඔහු සිත තුල පිපී පවතී ඒ ඔහුගේ සුසුම් මලින් සැදුනු මල් යායකි. 

මිනිස් ජීවිතයේ අනේක වූ අවස්ථා අප අවට පරිසරය හා මුසුවී ඇති ආකාරය කදිමට මෙමෙ ගීතයෙන් ඉදිරිපත් කොට ඇත. මෙය විරහ ගීතයක් උවත් එය ඇසෙන විට අපට මවා දෙන අති සුන්දර වූ ගම්මානයක චිත්‍රය අපට ඔහුගේ විරහ දුක හා සමගාමී වීම වෙනුවට ගැමි සුන්දරත්වය විදීමට අපව පොලඹවන තරමටම අති සුන්දර අයුරින් රචනා කොට ඇත.        

  
  







0 comments:

Post a Comment