මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන් විසින් සංගීතවත්කොට ගායනා කරනු ලබන මෙම ගීතය ජීවිතයේ ඇති අවිනිශ්චිත බව, වියෝවේ ඇති කටුක බව මෙන්ම ප්‍රේමය යනු හුදු හැඟීම් සමුදායක් පමණක් නොව අප තුල ජීවත්වන අපව ජීවත් කරනව තවත් ප්‍රාණියකු තරමටම ප්‍රබල බවත් විදහා දක්වන ගීතයක් ලෙසින් මට දැනේ.
මෙම ගීතය මූලික වශයෙන් අපට සමීප වන්නේ ඉතා සංවේදී විරහ ගීතයක් ලෙස වූවද මෙහි රචකයාට එය හුදෙක් ඔහු රචනා කල තවත් එක් විරහ ගීතයක් නොවේ. එය ඔහු ගේ ජීවිතයේ ගීතයයි. මෙම ගීතයට අදාල පසුබිම් කතා බොහොමයක් අසා ඇති උවත් අවසාන වශයෙන් සනත් නන්දසිරි මහතා විසින්ම පවසන මෙහි පසුබිම් කතාව සොයා ගැනීමට හැකිවිය. රචකයාට කරන ගෞරවයක් ලෙස එය මෙසේ සටහන් කරමි.
1975 සැප්තැම්බර් මස 19 වෙනිදා, එදා සිකුරාදා දිනයකි, සනත් නන්දසිරි මහතා හමුවීමට උදෙන්ම අමුත්තෙක් පැමිණේ. ඔහු නමින් විමල් ජයශාන්ත නම් තරුණයෙකි. ඔහු නන්දසිරි මහතාට ඔහුව හඳුන්වාදී ඔහු ලියූ මෙම ගීතය ලබාදී පිටවී යයි. මෙය ඔහුගේ පෙම්වතියගේ මරණය පිලිබඳව ඔහු විසින් ලියූ ගීතයයි. මෙය ඔහුගේ පලවන සහ අවසාන ගීතය වන අතර ඔහු මේ වන විට ජීවතුන් අතර නැත. ඔහු ප්‍රාර්ථනා කරන අයුරින්ම ඔවුන් දෙපලට මතු අත් භවයක එකට එක්වීමට වාසනාව ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු.
සනත් නන්දසිරි මහතා විසින්ම මෙම ගීතයේ පසුබිම් කතාව පවසන හඩපටය පහතින් ඔබට සවන්දිය හැකි නිසා මම එය දීර්ග ලෙස විස්තර කිරීමෙන් වැකලී සිටිමි.
එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුලු වසා....
ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට හොවා....
දෑත ලයේ බැඳි අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා....
ඔබ අත්විඳි සුන්දර, සැමගෙන්ම ආශිර්වාද ලත් ප්‍රේමයක් ඔවුන් දෙදෙනාට තිබී නැත. ඇයගේ දෑස් පියවන තුරුම ඔව්න් වෙනුවෙන් ඇය කෙතරම් නම් කඳුලු හෙලන්නට ඇතිද. නමුත් එතරම් කඳුලු හෙලුවත් ඇයගේ හදවතේ පිරී තිබුනේ ඔහු පිලිබඳ ස්නේහයයි. ඒ ආදරනීය බව ඔහු වෙනුවෙන් ඇය හැමදාමත් කඳුලු සඟවා මුව පුරා පිරුනු සිනාවකින් ලබා දෙන්නට තරම් ආදරනීය විය.
ඔහුගේ රෝස කුසුම ඇයයි. සිනිඳු සුමුදු රෝස කුසුම් පෙති වැනී වූ කම්මුල් අද මැලවී ගොසිනි. අද වනතුරු කිසිම දාක කිසිම තැනක නොකියා නොයන ඇය ඔහුට නොකියාම තනිවම ගමනක් ගොසිනි. ඔහුව රැගෙන යාමට තරම් ඇය කුහක නොවේ. නමුත් ඇය නැතිව ජීවත් වීමට තරම් ඔහු ශක්තිමත් නොවේ.
දෑස් කවුළුපත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්...
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්...
මාත් මගේ සිතටත් ඔබ සුවඳයි ඈත් නොවේ මයි ඒ සුවඳින්...
ගෙවී යමින් තිබෙන්නේ අවසන් හෝරාවයි. ඔහු සිත දැඩිකොට නාඬා සිටින්නට වෙහෙසේ. නමුත් පලක් නැත. දෑස් පලාගෙන ඔහුට ඔහුගේ සිත පාලනය නොවී කඳුලු කඩා හැලේ. අවසාන ආදරනීය හාදුව ජීවිතයේ අවසාන වතාවට ඇයගේ රත්පැහැ දෙතොලත තෙමන්නට... ඇය ඔහුගේය. කවුරුන් බලා සිටියත් කවුරුන් කුමක් සිතුවත් ඔහුට අවසාන වතාවට ඇයට නෙතින් ගලන කඳුලු වලින් ඇගේ මුව සිපගන්නට සිතේ.
සියල්ලේම අවසානය කරා ලඟාවෙමින් තිබේ. අන් සියලු දෙනාට ඇය හැරයා හැකිය. ඔවුන් ඇයට සමු දෙමින් සුවඳ පැනින් ඇය දෝවනය කරයි. නුමුත් ඔහුට සුවඳ පැනින් ඇය දෝවනය කරන්නට අවැසි නැත. ඇය සදාකල්හිම ඔහුට සුවඳ ගෙන ආ ඔහුගේ රෝස කුසුමියයි. ඒ සුවඳ ඔහුගේ සිත සදා නොමැකෙන ලෙස සුවඳවත් කොට හමාරය.
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට නැඟි ආදර ලෝකය හෙටත් තියේ..
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ..
ආයේ දවසක එක හිත් ඇතිඅය වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...
මෙතරම් ඉක්මනින් ඔහු හැරදා යන්නට ඇයට සිදුවී යැයි ඔහුට තවමත් අදහා ගත නොහැක. ඇය සමග ගෙවූ කාලය කොතරම් වුවත් ඔහුට එය දැනෙනුයේ ඔහුගේ ජීවිතයේ නිමේශයක් ලෙසිනි. නමුත් ඔවුන් තැනූ ආදර ලෝකය නම් එසේ නොවේ. ඔහු සිටු කුමරෙකුවත් ඇය සිටු කුමරියකවත් නොවේ. නමුත් ඔවුන් ආදරයෙන් පොහොසත්ය. ඔවුන්ට ඔවුන්ගේම ඔවුන්ම තනා ගත් ලෝකයක්ම තිබේ. නමුත් පෙරදා ඔවුන්ගේ සිනාවෙන්, කඳුලින්, දයාවෙන් පිරි මේ ලෝකයේ දැන් ඔහු තනිවී ගොසිනි. ඔහු ඇයගෙන් ඔහුව දමා ගියේ ඇයිදැයි නොඅසන්නට තරම් ඇයට ලෙන්ගතුය. ඔහු තමන්ගෙන්ම අසන්නේ තමන් මේ ලෝකයේ තනිවූයේත්, මේ තනි වූ ලෝකයේ ජීවත්වීමේ හේතුවයි.
ආදරනීය විමල් ජයශාන්ත නම් සංවේදී සොයුරාණෙනි, ඔබ නිවන්සුව ලැබීමට පෙර ඔබෙ අවසාන ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටුවේවායැයි හදවතින්ම පතමි.
0 comments:
Post a Comment